අනෙක් අය භුක්ති විඳිනව නම් ඇයි ඔවුන්ට බැරි

ආදිවාසීන් යනු අපේ රටේම ජන කොටසක් බවත්, සියලු දෙනාට හිමිවන අයිතිවාසිකම් ඔවුන්ට ද හිමි විය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

ඒ වගේම, ආදිවාසී ජන කොටසක් ලෙස ඔවුන් මුහුණ දෙන ගැටලු අවම කිරීම සඳහා පවතින නෛතික සහ තාක්ෂණික කාරණා පිළිබඳ අවධානය යොමුකළ අග්‍රාමාත්‍යවරිය, ඉදිරි මාස තුන තුළ ආදිවාසීන්ගේ අයිතිවාසිකම් දිනා දීම වෙනුවෙන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අදාළ නිලධාරීන්ට පවසා තිබෙනවා.

ආදීවාසී ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කිරීම වෙනුවෙන් සකස් කරන ලද පාර්ලිමේන්තු පනත් කෙටුම්පතේ ඉදිරි කටයුතු පිළිබඳව සහ ආදීවාසීන්ගේ මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් පවතින නීතිමය ගැටලු නිරාකරණය කිරීමට පරිසර අමාත්‍යාංශය සංවිධානය කළ හමුවක් පසුගියදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගිත්වයෙන් පැවැත්වුණා.

වැදි ජනතාවගේ ඓතිහාසික වටිනාකම පිළිබඳව පැහැදිලි කළ මෙම සාකච්ඡාවට සහභාගී වූ ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තන් මේ වනවිට ඔවුන් මුහුණදෙන ගැටලු අග්‍රාමාත්‍යවරියගේ අවධානයට යොමු කර තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය අනුව සකස් කළ ආදීවාසී අයිතිවාසිකම් පනත පිළිබඳවත්, ආදිවාසීන්ගේ දෛනික ජීවිතය තුළ මුහුණ දෙන ගැටලු පිළිබඳවත් පැහැදිලි කළ ආදිවාසී නායකයා, මෙතෙක් පැවති ආණ්ඩු යම් යම් ක්‍රියාමාර්ග ගත්තද සිය ගැටලුවලට නිසි විසඳුමක් නොලැබුණු බවද පෙන්වා දී තිබෙනවා.

එහිදී වැදි ජනතාවත් රටේ ඓතිහාසික වස්තුවක් බවත්, ඔවුන් ආරක්ෂා කරමින් ඔවුන්ගේ අයිතීන් ආරක්ෂා කරදීම අත්‍යවශ්‍ය බවත් මෙහිදී අදහස් දක්වමින් සංස්කෘතික ඇමැති සුනිල් සෙනෙවි මහතා පවසා තිබෙනවා.

එමෙන්ම පරිසර අමාත්‍යාංශය මගින් ආදීවාසීන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් අවශ්‍ය නීති රෙගුලාසි සම්මත කරගැනීම වෙනුවෙන් අවශ්‍ය කටයුතු කඩිනමින් සිදු කරන බව පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *