ආරක්ෂක ඇමති සිදුකළ විශේෂ අපරාධ හෙළිදරව්ව

මෑත කාලයේ සිදුවූ අපරාධ සහ වෙඩිතැබීම්වලට සම්බන්ධව සැකපිට යුධ හමුදා මේජර්වරයෙක්, සෙසු නිලයන් 6 දෙනෙක්, පොලිස් නිලධාරියෙක් සහ සිවිල් ආරක්ෂක නිලධාරියෙක් අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (21) පාර්ලිමේන්තුවේදී පවසා තිබෙනවා.
දීර්ඝ පැහැදිලි කිරීමක් සිදුකරමින් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ, මේ වන විට සංවිධානාත්ම අපරාධකරුවන් 15 දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති බවයි.
“පසුගිය සැප්තැම්බර් 23 වනදා සිට මේ දක්වා සිදුවූ අපරාධ ගැන අවධානය යොමු කළාම සේවයේ සිටියදීම යුද හමුදාවේ එක්කෙනෙක් දෙන්නෙක් මේ කටයුතුවල නිරත වෙනවා.”
“මේ දින කිහිපය තුළ යුද හමුදා මේජර්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.”
“යුද හමුදාවේ සෙසු නිලයන් 6 දෙනෙක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා.”
“පොලිස් නිලධාරියෙක් අත්අඩංගුට අරගෙන තිබෙනවා.”
“සිවිල් ආරක්ෂක නිලධාරියෙක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා.”
“සංවිධානාත්ම අපරාධකරුවන් 15ක් සහ අපරාධවලට අනුබලදීම සම්බන්ධයෙන් තවත් 15ක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා.”
“ඒ විදියට තමයි මේ අපරාධ සඳහා සම්බන්ධවෙලා තියෙන්නේ.”
ඒ වගේම, වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු පහත සඳහන් ආයුධ ද සොයාගෙන තිබෙන බව අමාත්‍යවරයා සඳහන් කරනවා.
T-56 ගිනිඅවි 7ක්
පිස්තෝල 10ක්
රිවෝල්වර් 14ක්
බෙහෙත් කොටන තුවක්කු 461ක්
බෝර 12 ගිනිඅවි 58ක්
ගල්කටස් 13ක්
රිපීටර් 2ක්
ඒ වගේම, මේ මාස 2 ක කාලය ඇතුළත හෙරොයින් කිලෝග්‍රෑම් 354ක්, කේරළ ගංජා කිලෝග්‍රෑම් 3847ක්, කොකේන් කිලෝග්‍රෑම් 3.8ක්, හෂීෂ් කිලෝග්‍රෑම් 181.9ක්, අයිස් කිලෝග්‍රෑම් 759ක් ද සොයාගෙන තිබෙන බවද මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කර තිබෙනවා.
විශේෂයෙන් ම මූල්‍ය අපරාධ කොට්ඨාසය නැවත ලබන සතියේ ස්ථාපිත කෙරෙන බවත්, ඊට පසුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව ඇති ලිපිගොනු 29,000 තුළින් මූල්‍ය අපරාධ ලිපිගොනු එම කොට්ඨාසයට භාරදීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.