පොලිස් කොමිසමේ මැලිකම ගැන ජනපතිගේ විග‍්‍රහය

ඊයේ (22) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාතික පොලිස් කොමිසමේ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙන බව වාර්තා වෙනවා.
පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සෙසු සාමාජිකයින් මෙම සාකච්ඡාවට සහභාගි වී ඇති බව සඳහන් වෙනවා.
මෙම සාකච්ඡාවේ අරමුණ ලෙස දක්වා තිබෙන්නේ, පොලිසීයේ ඇතැම් ස්ථාන මාරුවීම් සිදුකිරීමට පොලිස් කොමිසම මැලිකමක් දක්වන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගියදා ප්‍රසිද්ධ රැලියකදී චෝදනාවක් සිදුකළ අතර, ඒ සම්බන්ධයෙන් සහ පොලිස් කොමිසමේ වත්මන් වැඩකටයුතු සම්බන්ධයෙන් දැනුවත් කිරීමයි.
මෙහිදී සිය කොමිෂන් සභාවේ ක්‍රියාකලාපය පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව පියවර ගෙන ඇති බව සඳහන් වන අතර, ව්‍යවස්ථානුකූලව පැවරී ඇති බලතලවලට අනුව නීත්‍යානුකූලව තමන් විසින් සිය රාජකාරී කටයුතු සිදුකරන බව ජාතික පොලිස් කොමිසම මෙහිදි ජනාධිපතිවරයාට දැනුම් දී තිබෙනවා.
පොලිස් කොමිසමේ වැඩ කටයුතු ස්වාධීනව පවත්වාගෙන යාමට උපදෙස් දී ඇති ජනධිපති අනුර කුමාර දිසානායක මහතා එහි කටයුතුවලට කිසිඳු බලපෑමක් එල්ල නොකරන බවට ද සහතිකයක් ලබා දී තිබෙන බව වාර්තා වෙනවා.