රටේ අනාගතය ගැන ජනපතිගෙන් සහතිකයක්

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (26) පැවැති අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සාකච්ඡාවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වූ බව වාර්තා වෙනවා.
මෙහිදී අදහස් දැක්වූ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, පුරවැසියාට අයිතියක් වන ලෙසත් රාජ්‍ය නිලධාරියාට වගකීමක් වන ලෙසත් රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමට රජය පියවර ගන්නා බව අවධාරණය කර සිටියා.
ඒ වගේම, පවතින රාජ්‍ය සේවය පිළිබඳ පුරවැසියාගේ තෘප්තිමත්භාවයක් නොමැති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රජයේ සේවාවන් ඩිජිටල්කරණය කිරීම තුළින් පුරවැසියන්ට කාර්යයක්ෂම සේවයක් ලබාදීමට අපේක්ෂා කරන බවද ප්‍රකාශ කර තිබෙනවා.
විශේෂයෙන් ම ලබන ජූනි මාසය වන විට රාජ්‍ය සේවයේ නිවැරදි දත්ත පද්ධතියක් සකස් කිරීම සඳහා කටයුතු කරමින් සිටින බවත්, රාජ්‍ය සේවය සතු දැනට තිබෙන දත්ත ප්‍රමාණයේ විශාල වියවුලක් පවතින බැවින් ඒවා මත පදනම්ව නිවැරදි තීන්දු තීරණ ගැනීමේ හැකියාවක් නොමැති බවද ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.
ඒ වගේම, රාජ්‍ය සේවකයින් සඳහා සාධාරණ මූලික වැටුප් වැඩිවීමක් මෙන්ම, විශ්‍රාමිකයින්ගේ වැටුප් විෂමතා වසර තුනක් ඇතුළත අවසන් කිරීමට අදාළ යෝජනා මෙවර අයවැයට ඉදිරිපත් කරන බවත් ජනාධිපතිවරයා මෙහිදී අනාවරණය කරනවා.
රාජ්‍ය සේවය ශක්තිමත් කරන අතර රාජ්‍ය සේවයේ පිරිවැය කළමනාකරණය කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වූ බව ජනාධිපිති මාධ්‍ය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙනවා.
රාජ්‍ය සේවය තුළ මේ වන විට නිර්මාණය වී ඇති අත්‍යාවශ්‍ය පුරප්පාඩු 30,000 ක පමණ ප්‍රමාණය කඩිනමින් බඳවා ගැනීමේ අවශ්‍යතාව මෙම සාකච්ඡාවේදී අවධානයට ලක් වූ අතර, ඊට අදාළ මුදල් වෙන්කිරීම සඳහා මෙවර අයවැයට යෝජනා ඉදිරිපත් කිරීම පිළිබඳව ද, තාක්ෂණික ක්‍රමවේද නිසා සම්මුඛ පරීක්ෂණ ප්‍රමාද විය හැකි පුරප්පාඩු සම්බන්ධව ද මෙහිදී සාකච්ඡා වූ අතර, ඒකාබද්ධ රාජ්‍ය සේවයක් මගින් මානව සම්පත කළමනාකරණය කිරීම පිළිබඳවද අවධානය යොමුව තිබෙන බව සඳහන් වෙනවා.
විශේෂයෙන් ම අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ අධ්‍යාපන, සෞඛ්‍ය, වාරිමාර්ග, කෘෂිකර්මාන්ත, වන අලි ගැටලු ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළ බවත්, අනුරාධපුර දිස්ත්‍රික්කය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට ඇති හැකියාව පිළිබඳ සාකච්ඡා කළ අතර, “City Branding”” ක්‍රමවේදය භාවිතා කර අනුරාධපුර නගරය සංචාරක ආකර්ෂණීය ස්ථානයක් බවට පත් කිරීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කර තිබෙනවා.
දේශීය සංචාරකයන් වැඩි වශයෙන් පැමිණෙන අනුරාධපුර නගරය විදේශීය සංචාරකයන් සඳහා විවෘත කිරීමට හොඳ අවස්ථාවක් තිබෙන අතර, ශ්‍රී ලංකාවේ පළමු රාජධානිය ලෙස සහ පළමු වැව පිහිටි ස්ථානය ලෙස විදේශිකයන්ගේ ආකර්ෂණීය ස්ථානයක් ලෙස ප්‍රචලිත කිරීමටද අවධානය යොමුව තිබෙන බවත්, සමාජ ආකල්ප වල වෙනසක් ඇති කරමින් යහපත් සමාජයක් නිර්මාණය කිරීම සඳහා “Clean Sri Lanka” වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය ද මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දී තිබෙන බව සඳහන් වෙනවා.