ලේසියෙන්ම online ක‍්‍රමයට පාස්පෝට් එක ගන්නෙ මෙහෙමයි

විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා මාර්ගගත ක්‍රමය මගින් දිනයක් වෙන්කරවා ගත හැකි බවත්, එම දිනයට පැමිණ එදිනම විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට හැකියාව ඇති බවත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.

ඒවගේම, අද දිනයේ දී යම් කෙනෙකු විසින් දිනයක් වෙන්කර ගත්තේ නම් ඔහුට හෝ ඇයට ඒ සඳහා ලැබෙන දිනය ජූනි 27 වනු ඇති බව, අමාත්‍යවරයා පවසනවා.

අද 23 පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා,

“නැවත ප්‍රසම්පාදනයක් මගින් විදේශ ගමන් බලපත්‍ර ලක්ෂ 5ක ප්‍රමාණයක් මිල දී ගැනීමට අවශ්‍ය කටයුතු ආරම්භ කරලා තියෙනවා. මම හිතනවා සඳුදා දිනයේ වනවිට මේක පුවත්පත්වල ප්‍රකාශ කරලා, නව විදේශ ගමන්බලපත්‍ර ලක්ෂ 5ක් මිල දී ගැනීම සඳහා ටෙන්ඩර් ප්‍රසිද්ධ කරන්න පුළුවන් වෙයි කියලා”.

මේ අතර දින වෙන්කර ගත් පසු නව විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගතහැකි කාලවකවානු සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා පවසනවා.

“මාර්ගගත ක්‍රමය මගින් දිනයක් වෙන්කරවා ගත හැකි අතර, එම දිනයට පැමිණ එදිනම විදේශ ගමන්බලපත්‍රයක් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. නිදසුනක් ලෙස අද (23) දින දිනයක් වෙන්කරගන්නේ නම් ලැබෙන දිනය ජූනි 27. ඒ කියන්නේ මාර්ගගත ක්‍රමයට දිනයක් ගත්තාම දළ වශයෙන් මාස 05ක් පමණ ඉදිරියට තමයි දිනයක් ලැබෙන්නේ”.

එහෙත් මෙම වෙන්කර ගත් දිනට ප්‍රථම හදිසි අවශ්‍යතාවයක් වෙනුවෙන් විදේශ ගමන්බලපත්‍රයක් ලබාගන්න අවශ්‍ය නම්, ඒ ඕනෑම අයෙකුට විදේශ ගමන්බලපත්‍රයක් ලබාගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සලසලා තියෙනවා. ඒ සඳහා දෙපාර්තමේන්තුවේ ස්ථාපනය කරලා තියෙනවා කමිටුවක්. කමිටුවට ඇවිල්ලා ඔවුන්ගේ හදිසි අවශ්‍යතාවය තහවුරු කරගෙන එදිනටම විදේශ ගමන්බලපත්‍රය ලබා ගන්න ක්‍රමවේදයක් සකස් කරලා තියෙනවා.”

“එක්දින සේවයට අමතරව සාමාන්‍ය සේවය, මාර්ගගත ක්‍රමය ඔස්සේ දිනයක් වෙන්කර ගෙන එම දිනට පැමිණ අයදුම්පත්‍ භාරදීලා එම දිනයේ සිට මාසයකින් අනතුරුව විදේශ ගමන්බලපත්‍රයක් ලබා ගැනීමට හැකියාව තියෙනවා”.

“මාර්ගගත ක්‍රමය ඔස්සේ දින වෙන් කර ගත් අය සඳහා එක දිනකට පාස්පෝට් නිකුත් කිරීම් 800ක් සිදුකරනවා. ඒ වගේම යම් අයෙකුට ඔවුන්ගේ හිදිසි අවශ්‍යතාවය දැනුම්වත් කරලා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ස්ථාපනය කරලා තියෙන කමිටුව හමුවට ඇවිල්ලා තොරතුරු දැනුම් දුන්විට දිනකට නිකුත් කරන ගමන්බලපත්‍ර සංඛ්‍යාව 650ක්”.

“ඊට අමතරව විදේශ දූත මණ්ඩල මගින් ඉල්ලීම් කරලා තියෙනවා. ඒ අනුව විදේශගත වූවන්ගේ පාස්පෝට් 500ක් ඒ සඳහා දෛනිකව නිකුත් කරනවා”.

” ඒ වගේම දඹදිව, හජ් වැනි වන්දනා සඳහා අයදුම් කරනවා, ඒ සඳහා දෛනිකව 250ක් ගමන් බලපත්‍ර නිකුත් කරනවා. ඊට අමතරව පෙර මාර්ගගත ලබා දී ඇති අයදුම්පත් ප්‍රමාණයක් තිබෙනවා. ඒ වෙනුවෙන් දවසකට 250 ක් නිකුත් කරනවා”.

“මේ අතර ශාඛා කාර්යාල 4ක් තියෙනවා. ශාඛා කාර්යාල හතරෙනුත් මාර්ගගත ක්‍රමය ඔස්සේම 200ක් නිකුත් කරනවා. ඊට අමතරව සාමාන්‍ය සේවය යටතේ දිනකට 250 ක් නිකුත් කරනවා. 

“මේ අනුව දැනට අපි 2,500කට දෛනිකව ගමන් බලපත්‍ර දෙන්න සීමා කරලා තිබුණත් විවිධ හදිසි ඉල්ලීම් හින්දා මේක වරින්වර වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් දළ වශයෙන් දැන් දිනකට 2,900  නිකුත් වෙනවා “

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *