ශ‍්‍රී ලාංකිකයින් 340,000 කට විදෙස් රැකියා අවස්ථා

මෙරට පුරවැසියන් 340,000 කට මෙම වර්ෂය තුළදී විදේශ රැකියා අවස්ථා ලබාදීමට අපේක්ෂා කරන බව, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අද (23) පැවති නව බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩසටහනට එක්වෙමින් එම කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා මේ බව පවසා තිබෙනවා.
පසුගිය 2024 වසරේදී 311,000 කට විදේශ රැකියා ලබාදී ඇති අතර, එය මෙම වසරේදී 12% කින් වැඩිකරමින් මෙලෙස රැකියා අවස්ථාදීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය සැලසුම් සකස් කර තිබෙනවා.
ඒ අනුව, නියාමනයන් සිදුකොට නිවැරදිව රැකියා සඳහා ජනතාව විදේශගත කළ යුතු බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.
එමෙන්ම විදේශ රැකියා බලපත්‍ර ලබාගත් ඇතැම් ඒජන්සි වංචනික ක්‍රියාවල යෙදෙන බවට තමන් වෙත තොරතුරු වාර්තා වන බවත්, එවැනි පුද්ගලයින්ට එරෙහිව තරාතිරම නොබලා දඬුවම් ලබාදෙන බවත්, සභාපතිවරයා පවසනවා.