හිටපු ජනාධිපතිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

තමා වෙතින් ඉවත් කරනු ලැබූ ආරක්ෂිත සංචිතය යළි ලබා දෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් පිරිසක් නම් කර තිබෙන බව සඳහන් වෙනවා.
මහින්ද රාජපක්ෂ මහතා සිය නීතිඥවරු මාර්ගයෙන් ගොනු කර තිබෙන මෙම පෙත්සමේ සඳහන් කර තිබෙන්නේ, නිසි ආරක්ෂක තක්සේරුවකින් තොරව සිය ආරක්ෂාව සඳහා සපයා තිබූ ආරක්ෂක නිලධාරී සංචිතයෙන් නිලධාරීන් 60 දෙනෙකු පමණක් ඉතිරි කොට අන් සියල්ල ඉවත් කිරීමට කටයුතු කර තිබෙන බවයි.
මේ වනවිට කිසිඳු සන්නද්ධ ආරක්ෂක නිලධාරියෙකු සිය ආරක්ෂාව සඳහා යොදවා නොමැති බවත්, පොලිස් නිලධාරින් පමණක් ආරක්ෂාව සඳහා සපයා තිබෙන බවත්, මහින්ද රාජපක්ෂ මහතා සිය පෙත්සමේ සඳහන් කර තිබෙනවා.
දශක තුනක් පමණ පැවති යුද්ධයක් නිමා කිරීමට නායකත්වය දුන් තමා, ත්‍රස්තවාදී තර්ජන වලට මුහුණපා සිටින අයෙකු වන අතර, තම ජීවිතයටද තර්ජන එල්ල වී තිබෙන බව හිටපු ජනාධිපතිවරයා සිය පෙත්සමෙන් කියා සිටින අතර, අත්තනෝමතික ලෙස සිය ආරක්ෂාව ඉවත් කිරීම තුළින් වගඋත්තරකරුවන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස මහින්ද රාජපක්ෂ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.
ඊට අමතරව තමන්ට එල්ල වී තිබෙන තර්ජන පිළිබඳව තක්සේරුවක් සිදුකරන ලෙස වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහු අයදිනවා.
එමෙන්ම මේ වන විට ඉවත් කර තිබෙන තමන්ට සපයා දී තිබූ සම්පූර්ණ ආරක්ෂක සංචිතය යළි ලබාදෙන ලෙස වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත්, පෙත්සම්කාර මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.