හෙට වෙනකල් පාර වහලා තියෙන්නේ

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මහනුවර – මහියංගනය මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙන බව නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පවසනවා.
මෙසේ වසා තබන්නේ, මහනුවර – මහියංගනය මාර්ගය කහටගොල්ල ප්‍රදේශයෙන් බවත්, අද (22) පස්වරු 06 සිට හෙට (23) පෙරවරු 06 දක්වා කාලය තුළ, මහනුවර මහියංගනය ප්‍රධාන මාර්ගය, මහනුවර පොලිස් වසමේ තැන්නේකුඹුර හන්දියෙන් හා හසලක පොලිස් වසමේ පාලම් හන්දියෙන් වසා දැමීමට කටයුතු කර තිබෙනවා.
පවතින අයහපත් කාලගුණ තත්වයත් සමග කහටගොල්ල ප්‍රදේශයෙන් පස් කඳු හා ගල් කඩා වැටීමේ අවධානම් තත්ත්වයක් පැවතීම හේතුවෙන්, එය මෙම මාර්ගයේ රාත්‍රී කාලයේ ගමන් ගන්නා වාහන හා පුද්ගලයින් හට බරපතල අනතුරු ගෙන දිය හැකි බැවින්, මේ සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වෙනවා.
ඒ අනුව විකල්ප මාර්ග ලෙස,
මහනුවර දෙස සිට මහියංගනය දෙසට ධාවනය වන බර වාහන තැන්නේකුඹුර හන්දියෙන් රජ මාවත දෙසට හා මහියංගනය දෙස සිට මහනුවර දෙසට ධාවනය වන බර වාහන හසලක පොලිස් වසමේ පාලම් හන්දියෙන් රන්දෙනිගල මාර්ගය දෙසටත් විකල්ප මාර්ග ලෙස භාවිතා කළ හැකිය.
එමෙන්ම, මහනුවර දෙස සිට මහියංගනය දෙසට ගමන් ගන්නා සැහැල්ලු වාහන වලට පමණක් උඩදුම්බර පොලිස් වසමේ එනමල්පොත හන්දියෙන් උඩුදුම්බර නගරයටත්, මහියංගනය දෙස සිට මහනුවර දෙසට ධාවනය වන සැහැල්ලු වාහන උඩදුම්බර නගරයෙන් එනමල්පොත හන්දිය දක්වාත් විකල්ප මාර්ග ලෙස භාවිතා කළ හැකි වෙනවා.