අවැසි මොහොතේ මියන්මාරයට සහන දෙන මිතුරා

ප්‍රබල භූ කම්පනයකින් පීඩාවට පත් මියන්මාරයේ ජනතාව වෙනුවෙන් ටොන් 15 ක සහනාධාර තොගයක් ප්‍රදානය කිරීමට ඉන්දියාව පියවර ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

භූ කම්පනයෙන් සිදුවූ ආපදා හමුවේ මියන්මාරයේ හමුදා පාලනය ජාත්‍යන්තර සහාය අපේක්ෂා කර සිටි බවත් ඊට කඩිනමින් ප්‍රතිචාර දක්වමින් ඉන්දියාව මෙම සහනාධාර තොගය එවා තිබූ බවයි.

මියන්මාරයේ හමුදා පාලනයත් සමග මියන්මාරය සහ ජාත්‍යන්තරය අතර පවතින සබඳතා පළුදුවූ පසුබිමක මෙම ඉල්ලීම කර තිබීම ද විශේෂත්වයක් වෙනවා.

ඉන්දියාව ලබාදුන් සහන ද්‍රව්‍යවලට කූඩාරම්, නිදන මලු, පොරෝන, ආහාර, ජල පිරිපහදු යන්ත්‍ර, සනීපාරක්ෂක කට්ටල, ජෙනරේටර් කට්ටල සහ ඖෂධ, ප්‍රතිජීවක, අත්වැසුම් ඇතුළු තවත් අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් ඇතුළත් වෙනවා.

මියන්මාරයේ පැරණි අගනගරයක් වූ මැන්ඩලේ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් එරට වේලාවෙන් ඊයේ 28 පස්වරු 12.50 ට පමණ ඇතිවූ මෙම භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 7.7 ක් ලෙස සටහන් වී තිබුණා.

භූ කම්පනයෙන් එරට මියගිය සංඛ්‍යාව මේ වනවිට 700 කට ආසන්නව ඇති අතර, තුවාල ලැබූ සංඛ්‍යාව 1,670 ක් පමණ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *