කච්චතිව් නැවත ලබාගන්න යෝජනාවක්

තමිල්නාඩු ධීවරයින්ගේ සම්ප්‍රදායික ධීවර අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ක්‍රියාමාර්ග හේතුවෙන් ඔවුන් මුහුණදෙන අභියෝග සමනය කිරීම සඳහා ගත හැකි එකම ස්ථිර විසඳුම කච්චතිව් නැවත ලබාගැනීම බව තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්.කේ.ස්ටාලින් අවධාරණය කර තිබෙනවා.
කච්චතිව් දූපත සම්බන්ධයෙන් රජයේ යෝජනාවලියක් තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරය විසින් රාජ්‍ය සභාව වෙත ඉදිරිපත් කරමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබෙනවා.
ඉන්දු – ශ්‍රී ලංකා ගිවිසුම වහා සමාලෝචනය කර කච්චතිව් නැවත ලබාගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා අදාළ යෝජනාව මගින් ඉන්දීය මධ්‍යම රජයෙන් ඉල්ලීමක් කර තිබෙන බව සඳහන් වෙනවා.
එමෙන්ම ශ්‍රී ලංකා රජය රඳවාගෙන සිටින ඉන්දීය ධීවරයින් සහ ඔවුන්ගේ බෝට්ටු නිදහස්කර ගැනීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේදී සාකච්ඡා කළ යුතු බවද ඔහු සඳහන් කර තිබුණා.
තමිල්නාඩු ජනතාවට අතිශයෙන් වැදගත් යෝජනාවක් වන මෙම යෝජනාව ඒකමතිකව සම්මත කර ගැනීමට බලාපොරොත්තු වන බව මෙහිදී ප්‍රධාන අමාත්‍යවරයා පවසා තිබෙනවා.
