පෙබරවාරි 14 විශේෂ රැස්වීමක්

පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් ලබන 14 සිකුරාදා කැඳවීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා.
එම විශේෂ රැස්වීමක් කැඳවා තිබෙන්නේ, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් :විශේෂ විධිවිධාන* පනත් කෙටුම්පතට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති පෙත්සම්වලට අදාළ තීරණය කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම්දීම සඳහා බව සඳහන් වෙනවා.
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් අද 10 රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ඒ බව තීරණය වී තිබෙනවා.
ඒ අනුව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 හි විධිවිධාන ප්‍රකාරව අග්‍රාමාත්‍යවරිය විසින් කථානායකවරයා වෙත කරනු ලබන ඉල්ලීමක් මත මෙම කැඳවීම සිදු කර තිබෙන අතර, පෙබරවාරි 14 වැනිදා මෙම පනත් කෙටුම්පත සළකා බැලීම සඳහා අදාළ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව රැස් කිරීමට ද මෙහිදී තීරණය වී තිබෙනවා.
පළාත් පාලන ඡන්ද විමසීම කඩිනමින් පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර ඇති පසුබිමක, ඊට ගරු කිරීමක් ලෙස මැතිවරණය තවදුරටත් ප්‍රමාදයකින් තොරව පැවැත්වීමේ අවශ්‍යතාව මෙහිදී සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා අවධාරණය කර තිබෙනවා.
මේ අනුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් :විශේෂ විධිවිධාන* පනත් කෙටුම්පතට අදාළ දෙවැනිවර කියවීමේ විවාදය ලබන 17 වැනි සඳුදා ප.ව 2.00 සිට ප.ව 7.00 දක්වා පැවැත්වීමටත් තීරණය වූ බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම්වරයා පවසනවා.
තවද විපක්ෂය විසින් පනත් කෙටුම්පතට අදාළව ගෙනෙනු ලබන සංශෝධන පෙබරවාරි 17 වැනිදා පෙ.ව 10.00 ට පෙර ලබාදීමටත් මෙහිදී එකඟත්වය පළවී තිබෙන අතර, ජනාධිපතිවරයා විසින් මුදල් විෂය භාර අමාත්‍යවරයා ලෙස 2025 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම පෙර තීරණය කළ පරිදි ලබන 17 වැනි සදුදා පෙ.ව 10.30 ට සිදු කිරීමට නියමිත බවද වැඩබලන මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරනවා.