බැංකොක් නුවරට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරලා

මියන්මාරයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් පසු තායිලන්තයේ බැංකොක් නුවරට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.
මියන්මාරයේ මැන්ඩලේ ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන රික්ටර් මාපකයේ ඒකක 7.7ක ප්‍රබල භූ කම්පනයක් ඇති වූ අතර, එහි ප්‍රබලත්වය තායිලන්තයේ බැංකොක් නුවරටත් දැනී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.
භූ කම්පනයෙන් මියන්මාරයේ මෙන්ම බැංකොක් අගනුවරද ගොඩනැගිලි කිහිපයකට හානි සිදුවී ඇති අතර, බැංකොක් නුවර මහල් ගොඩනැගිල්ලක් කඩාවැටී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අදාළ ගොඩනැගිල්ලේ පුද්ගලයින් 50 දෙනෙකු සිට ඇති බවද පවසන විදෙස් වාර්තා ඉන් 43 දෙනෙකු තුවාල ලබා ඇති බවද වාර්තා කර තිබෙනවා.
මැන්ඩලේ යනු මියන්මාරයේ සංස්කෘතික සහ ආගමික අගනුවර වෙන අතර මිලියනයක පමණ ජනතාවක් එහි වාසය කරන බවත්, බෞද්ධ ආරාම සහ රජවරුන් රැඳීසිටි මාලිගාවක් ද එහි පවතින බවත් සඳහන් වෙනවා.
මෙම නගරය ප්‍රධාන සැපයුම් සහ ව්‍යාපාරික මධ්‍යස්ථානයක් ලෙසද ප්‍රසිද්ධියක් උසුලන අතර මියන්මාරයේ විශාලතම වෙළෙඳ හවුල්කරුවා වන චීනයේ දේශසීමාවට යන ප්‍රධාන වෙළෙඳ මාර්ගය ද එය අවසානයේ පිහිටා තිබෙන බව සඳහන් වෙනවා.
මේ අතර මැන්ඩලේ ගුවන්තොටුපොළේ මගී ජනතාව සහ කාර්යමණ්ඩලය ඉන් ඉවත් කිරීමට මේ වනවිට පියවර ගෙන තිබෙන අතර, මැන්ඩලේ නගරයේ ඇතැම් මාර්ග ඉරිතලා ගොස් ඇති බවත් විදෙස් වාර්තා සඳහන් කරනවා.
භූ කම්පනයෙන් අනතුරුව බැංකොක් ජනතාව නිවාසවලින් ඉවතට පැමිණ ආරක්ෂිත ස්ථාන කරා ගමන් කරමින් සිටින බවද විදෙස් වාර්තා පෙන්වා දෙනවා.
