ආයෙත් ඒ වගේ කාලයක් උදාවෙන්නේ නෑ

ලෝක වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකා ව්‍යවසායකයින්ගේ කොටස අත්පත් කර ගැනීම සඳහා අවශ්‍ය සහාය ලබා දීමට සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

තානාපතිවරුන් සහ ව්‍යවසායකයින් ඒකාබද්ධ කිරීමේ ක්‍රියාවලියක් යටතේ ලෝක වෙළෙඳපොළ තරණය කිරීමට ශක්තිමත් වැඩපිළිවෙළක් ආණ්ඩුව සතු බවද ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, කොළඹ පුද්ගලික හෝටලයක ඊයේ 10 පැවති තරුණ ලාංකේය ව්‍යවසායක මණ්ඩලයේ 26 වන සමුළුවට එක්වෙමිනි.

තිරිංග යොදා සිර කර තිබෙන ආර්ථිකය වෙනුවට යම් තරමක නිදහස් චලනයක් ඇති ආර්ථිකයක් නිර්මාණය කිරීම සඳහා මෙවර අයවැයෙන් කටයුතු කර තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරනවා.

ආර්ථිකයෙහි නිදහස් චලනයක් ඇති කිරීමෙන් යම් සංවර්ධන වේගයක් අත්පත් කර ගත හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ඊට සරිලන පරිදි ආර්ථිකයට විශාල කම්පනයක් නොදැනෙන ලෙස මෙවර අයවැය සකස් කළ බවද කියා සිටියා.

ආර්ථිකය පිළිබඳ තීන්දු තීරණ ගැනීමේදී රුපියලට දරා ගත නොහැකි තෙරපුමක් ඇති නොවන සේ කටයුතු කිරීමට වත්මන් රජය සංවේදී වූ බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශවලට අනුකූලවද යම් යම් තීන්දු ගැනීමට සිදු වූ බවත්, ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර තිබෙනවා.

ආර්ථික පිළිබඳ විශ්වාසය බිඳ වැටුණු රාජ්‍යයක එම විශ්වාසය යළි ඇති කිරීම සඳහා වත්මන් රජය නිවැරදි තීන්දු තීරණ ගෙන ඇති බවත්, එම නිසා බංකොලොත් වූ රාජ්‍යය නිල වශයෙන් බංකොලොත්භාවයෙන් මුදා ගැනීමට හැකි වූ බවත්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අනාවරණය කර තිබෙනවා

ජනතාවගේ සෑම රුපියලක්ම භාවිත කිරීමේදී දේව කාර්යයක් ලෙස සලකා කටයුතු කරන බවට තම රජය සහතික වන බවද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *