කෙහෙල්බද්දර පත්මෙගේ ඥාතීන් ඝාතන තැතක්

ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමට පළිගැනීමක් ලෙස කෙහෙල්බද්දර පද්මේගේ බිරියගේ මව්පියන් ඝාතනය කිරීමට ගත් උත්සහයක් පන්නල පොලීසිය මඟින් වළක්වා තිබෙන බව වාර්තා වෙනවා.

එම ඝාතනය සඳහා පැමිණි බවට සැකකෙරන තරුණයන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

ගණේමුල්ල සංජීව ඝාතනය මෙහෙයවීම සම්බන්ධයෙන් කෙහෙල්බද්දර පද්මේ නම් අපරාධකරුට චෝදනා එල්ල වී තිබෙනවා.

ඒ නිසා ගණේමුල්ල සංජීවගේ පාර්ශ්වය විසින් කෙහෙල්බද්දර පද්මේගේ පාර්ශ්වයට කුමන හෝ සබඳතාවක් ඇති සියලුදෙනාම ඝාතනය කරන බවට තර්ජනය කර ඇති බව අරක්ෂක අංශ තොරතුරු අනාවරණ කරගෙන තිබෙනවා.

එවන් පසුබිමක කෙහෙල්බද්දර පද්මේගේ බිරියගේ පන්නල පිහිටි නිවස විඩියෝගත කරමින් සිටි තරුණයන් දෙදෙනෙකු පන්නල පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ නිවැසියන් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමක් පවතින බවට ලද තොරතුරකට අනුව, පොලිස් නිලධාරීන් එම ස්ථානයට යන අවස්ථාවේදී අත්අඩංගුවට පත් වූ තරුණයන් දෙදෙනා එහි සිටි බව පොලීසිය සඳහන් කරනවා.

එම අවස්ථාව වන විටත් කෙහෙල්බද්දර පද්මේගේ බිරියගේ මව, පියා හා බාල සොයුරා නිවස තුළ සිට ඇති අතර, අත්අඩංගුවට ගත් වයස අවුරුදු 21 හා 24 යන වයස්වල පසුවන තරුණයන් දෙදෙනාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් පවසා ඇත්තේ, ඩුබායි සමීර නම් අපරාධකරුගෙන් ලද පණිවුඩයකට අනුව අදාළ නිවස විඩියෝ ගත කළ බවයි.

එම නිවසට පිවිසිය හැකි ගමන්මග විඩියෝ කර තමන්ට එවන ලෙසට ඩුබායි සමීර නැමැත්තා උපදෙස් දුන් බවත්, මත්ද්‍රව්‍ය පානය කිරීමට විටින් විට ඔහු විසින් මුදල් ලබාදීම හේතුවෙන් එය සිදුකළ බවත් සැකකරුවන් පොලීසිය හමුවේ පාපොච්චාරණය කර තිබෙනවා.

අනතුරුව ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ගිනිඅවියක් ද පොලිසිය පන්නල කොස්වත්ත ප්‍රදේශයේ සඟවා තිබියදී සොයාගත් බව පොලීසිය පවසනවා.

මොවුන් දෙදෙනා ප්‍රහාරය සඳහා සූදානම්ව සිට ඇති බවට සැකකරන බැවින් හෙට 27 දිනය දක්වා ඔවුන් රඳවාගෙන ප්‍රශ්න කරන අතර, හෙට අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *