ඊශ්‍රායලයේ වාසය කරන ශ්‍රී ලාංකිකයින් හොඳින්ද?

ඊශ්‍රායලයේ ජෙරුසලමට ආසන්නයේ පිහිටි එෂ්තාඕල් වනාන්තරයේ ඊයේ 30 හටගත් ගින්න මේ වනවිට දරුණු ලැව්ගින්නක් ලෙසින් පැතිර යමින් පවතින බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

මෙම ගින්න නිසා ඊශ්‍රායලයේ වාසය කරන ශ්‍රී ලාංකිකයෙකු විපතට පත්වී ඇත්නම් ඒ පිළිබඳව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම්වත් කරන ලෙස ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා දන්වා සිටිනවා.

ජෙරුසලෙම් සහ ටෙල් අවීව් නගර අතර ජෙරුසලෙම් නගරයට වඩාත් ආසන්නයෙන් මෙම ගින්න පැතිර යමින් තිබෙනවා.

එරට පවතින අධික වියළි කාලගුණය සහ ඉහළ සුළං ප්‍රවාහය හමුවේ එය වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වෙනවා.

මේ හේතුවෙන් දැනටමත් හෙක්ටයාර 3,000 කට අධික භූමි ප්‍රමාණයක් විනාශ වී තිබෙන අතර, එහි බලපෑමෙන් ජෙරුසලෙම් සහ ටෙල් අවීව් යා කරන ප්‍රධාන අධිවේගී මාර්ගයක් වන රූට් වන් මාර්ගය වසා දැමුණු අතර, ඇතැමුන්ට සිය රථ වාහන ද අතහැර යාමට සිදුවුණා.

ගිනි නිවන අංශ 150 කට අධික සංඛ්‍යාවක් යොදවා ගුවන් මගින් ද ගිනි නිවීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වුවත්, අධික සුළං ප්‍රවාහය හේතුවෙන් ගින්න පාලනය කිරීම දැඩිලෙස අසීරු වී තිබෙනවා.

ඒ අනුව ඊශ්‍රායලය ඒ සඳහා විදෙස් රටවල සහාය ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ අතර, ජෙරුසලෙම් දිස්ත්‍රික්ක ගිනි නිවන දෙපාර්තමේන්තුව පවසන්නේ මෙය ඊශ්‍රායලයට බලපෑ දරුණුතම ලැව්ගින්න වීමේ සම්භාවිතාවක් පවතින බවයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *