ශ‍්‍රී ලංකාව දෙන සහයෝගය අගය කරනවා

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජනපද ඉන්දු-පැසිෆික් විධානයේ අණදෙන නිලධාරි අද්මිරාල් සැමුවෙල් ජේ. පපාරෝ මහතා අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (21) පවත්වා තිබෙනවා.
අද්මිරාල් පපාරෝ මහතා මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජය ගෙන යන වැඩපිළිවෙළ අගයමින් සිය සුබපැතුම් පිරි නැමූ අතර, ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කරමින් සාමකාමී ඉන්දියානු සාගර කලාපයක් පවත්වා ගෙන යාමට ශ්‍රී ලංකාව ලබා දෙන සහායද පැසසුමට ලක් කර තිබෙනවා.
ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර පවතින ශක්තිමත් සබඳතා අඛණ්ඩව පවත්වා ගෙන යාමටත්, ශ්‍රී ලංකා රජයේ නව වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමටත් සිය සහාය ලබා දෙන බව අද්මිරාල් සැමුවෙල් ජේ. පපාරෝ මහතා පවසා තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශවල මානව සම්පත් සංවර්ධනයට එක්සත් ජනපදය අතීතයේ සිට මේ දක්වා ලබා දෙන සහාය මෙහිදී කෘතවේදීව සිහිපත් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඒ වෙනුවෙන් සිය ස්තූතිය පළ කර සිටියා.
මෙම අවස්ථාවට විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග්, ලුතිනන් කර්නල් ඇන්තනී නෙල්සන්, එක්සත් ජනපද ඉන්දු – පැසිෆික් විධානයේ ජ්‍යෙෂ්ඨ විදේශ ප්‍රතිපත්ති උපදේශක ඩේවිඩ් රැන්ස් යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් එක්ව සිටි බව වාර්තා වෙනවා.
