බලපිටියේ සිද්ධිය පිටුපස ඉන්නේ “බබා”

ඊයේ (17) බලපිටියේ පාසලක් අසලදී සිදුකළ වෙඩිතැබීම සම්බන්ධයෙන් මේ වනවිට කරුණු රැසක් අනාවරණය වී තිබෙනවා.
ඊයේ රාත්‍රි 8.30 ට පමණ මෙම වෙඩි තැබීම සිදුකර තිබූ අතර, වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
කෙසේ වෙතත්, වෙඩි වැදුණු පුද්ගලයාම අහුන්ගල්ල පොලීසියට ගොස් සිද්ධිය පිළිබඳ පැමිණිලි කර තිබෙන අතර, පසුව අහුන්ගල්ල පොලීසිය සුවසැරිය ගිලන් රථයකින් වෙඩි වැදුණු පැමිණිලිකරුව බලපිටිය මූලික රෝහලට රැගෙන ගොස් තිබෙනවා.
අහුන්ගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “බබා” නමැත්තාගේ ගෝලයෙකු බව කියන ලක්ෂාන් මධුෂංක ඉලක්ක කර මෙම වෙඩිතැබීම සිදුකර තිබෙන අතර ඔහුට “බබා” නමැත්තාගෙන් මරණ තර්ජන තිබූ බවද හෙළිවී තිබෙනවා.
ඊයේ රාත්‍රියේ “බබා” නමැත්තා ඔහුට දුරකථන ඇමතුමක් ලබාදී මත්ද්‍රව්‍ය පාර්සලයක් භාරදීමට බලපිටියට පැමිණෙන ලෙස දන්වා තිබෙන අතර, පසුව ලක්ෂාන් මධුෂංක නමැත්තා කුලී ත්‍රිරෝද රථයකින් බලපිටියට ගොස් තිබෙන බව සඳහන් වෙනවා.
එහිදී රේවත විද්‍යාල මාවතට පැමිණෙන ලෙස උපදෙස් ලැබී ඇති අතර, ඔහු ත්‍රිරෝද රථයෙන් බැස පාසල අසලින් ගමන් කරන අවස්ථාවේදී වෙඩි තැබීම් 2 ක් සිදුකර තිබෙනවා.
එහිදී වෙඩිවැදුණු ලක්ෂාන් මධුෂංක දිවගොස් තමා පැමිණි ත්‍රිරෝද රථය ගෙන්වාගෙන අහුන්ගල්ල පොලීසියට ගොස් තමාට බබාගේ පාර්ශ්වයෙන් වෙඩි තැබූ බව පවසා තිබෙන බව වාර්තා වෙන අතර, සිද්ධිය සම්බන්ධයෙන් අහුන්ගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.