අවසන් පූර්ව වටයට ළං වෙන්න පුළුවන්ද?

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාමගත් ක්‍රීඩකයින්ගේ සහභාගිත්වයෙන් ඉන්දියාවේ පැවැත්වෙන “ඉන්ටර්නැෂල් මාස්ටර්ස් ලීග්” තරගාවලියේ ඊයේ (06) පැවති තරගයෙන් බ.ඉ. කොදෙව් කණ්ඩායම ලකුණු 21 කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූ බව වාර්තා වෙනවා.
වදෝදරාහිදී පැවති මෙම තරගයේ පළමුවට පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා මාස්ටර්ස් පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 173 ක් රැස්කර තිබෙනවා.
නායක කුමාර සංගක්කාර පන්දු 42 කකදී ලකුණු 47ක් රැස්කළ අතර, අසේල ගුණරත්න පන්දු 45 කින් අගනා ලකුණු 64 ක් රැස්කිරීමට සමත් වුණා.
කෙසේ නමුත් ලකුණු 174ක ජයක්ග්‍රාහී ඉලක්කයක් හඹාගිය කොදෙව් මාස්ටර්ස්ලාට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05 ක් දැවී රැස්කළ හැකි වූයේ ලකුණු 152 ක් පමණයි.
ඩිවේන් ස්මිත් පන්දු 43 කදී ලකුණු 49 ක් රැස්කිරීම ඔවුන්ගේ පිතිකරුවෙකු රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාවයි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී ඉසුරු උදාන ලකුණු 15 කට කඩුලු 02 ක් දවාගෙන තිබෙනවා.
මෙය මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව අඛණ්ඩව ලැබූ තෙවන ජය වන අතර, මෙම ජයත් සමග ඔවුන්ට තවදුරටත් ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය රැකගැනීමට අවස්ථාව උදාකරගෙන තිබෙනවා.
මූලික වටයේ සියලු තරග අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් 4 අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන අතර, ඒ අනුව මෙම ජයත් සමග ශ්‍රී ලංකා මාස්ටර්ස්ලා අවසන් පූර්ව වටයට තවත් පියවරකින් ළඟාවුණූ බව වාර්තා වෙනවා.