හරක් කටාට පැන යන්න අනුබල දුන් කොස්තාපල්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැත්තාට ඉන් පලායාමට ආධාර අනුබල දුන් බවට, ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන රැගෙන එන ලද, එම දෙපාර්තමේන්තුවේ සේවය කළ පොලිස් කොස්තාපල්වරයා අද (17) කොළඹ මහාධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන එම සැකකරු අද එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා හමුවට පමුණුවනු ලැබූ අතර, ඉන් අනතුරුව අදාළ චෝදනාව සම්බන්ධයෙන් විත්තිකරු පොලිස් කොස්තාපල්වරයාට එරෙහිව අධි චෝදනා පත්‍ර භාරදීම සිදුවුණා.
එම අධි චෝදනා පවරා පවත්වාගෙන යාමට ඇති හැකියාව සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ඔහුගේ නීතිඥවරු අධිකරණයට දැනුම් දී තිබෙනවා. ඉන් අනතුරුව නඩු විභාගය අප්‍රේල් මස 04 වනදා පැවැත්වීමට ද නියම කර තිබෙනවා.
ඒ වගේම,මෙම නඩුවේ තවත් විත්තිකරුවකු වශයෙන් නම් කර සිටින නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නැමැත්තා නඩු විභාගය සඳහා අධිකරණයට ඉදිරිපත් කළ යුතු බව ඔහුගේ නීතිඥවරු අද අධිකරණයට දැනුම් දුන් බව සඳහන් වෙනවා.
