ගැරඬිඇල්ල බස් රථ අනතුරේ මේවන විට තත්වය

කොත්මලේ, රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40 කට අධික පිරිසක් තවදුරටත් රෝහල් කිහිපයක නේවාසිකව ප්‍රතිකාර ලබන අතර, ඉන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.

මේ අතර තුවාලකරුවන්ගේ සුවදුක් විමසීම සඳහා අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ඊයේ (11) ගම්පොළ රෝහල වෙත ගොස් තිබෙනවා.

කතරගම සිට නුවරඑළිය හරහා කුරුණෑගල දක්වා ධාවනය වන ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථය නුවරඑළිය – ගම්පොළ ප්‍රධාන මාර්ගයේ කොත්මලේ රම්බොඩ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට ධාවනයවී ප්‍රපාතයකට පෙරළුණේ පුද්ගලයින් 22දෙදෙනෙකුට දිවි අහිමි කරමිනි.

අනතුරෙන් තුවාල ලැබූවන් අවට රෝහල වෙත ඇතුළත් කෙරුණු අතර, ඒ අතරින් කොත්මලේ ප්‍රාදේශීය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ රෝගීන් සියලුදෙනා ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඒ වගේම, නාවලපිටිය රෝහලේ මේ වන විට රෝගීන් 5 දෙනෙකු ප්‍රතිකාර ලබන අතර, ගම්පොළ ශික්ෂණ රෝහලේ රෝගීන් 22 දෙදෙනෙකු ප්‍රතිකාර ලබන බව සඳහන් වෙනවා.

මේ අතර, නුවරඑළිය මහ රෝහලේද 15 දෙනෙකු ප්‍රතිකාර ලබන බවත්, ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවද වාර්තා වෙනවා.

බරපතළ තත්ත්වයේ පසුවන රෝගීන් කිහිපදෙනෙකු පේරාදෙණිය සහ මහනුවර යන රෝහල්වල ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

මේ අතර අනතුරට පත් බස් රථය අයත් කතරගම ඩිපෝවේ කළමනාකාර, තුසිත චමින්ද මහතා අනතුර සම්බන්ධයෙන් අදහස් පළ කළ අදහස් පහතින් දැක්වෙනවා.

“බස් රථය නියමිත ආකාරයෙන් හදලා සෑම දිනකම දුරගමන් සේවා බස් රථ පරීක්ෂා කරලා තමයි ධාවනය කරවන්නේ. ඒවගේම හොඳ පළපුරුදු රියදුරු මහත්තයෙක් මේ ගමන්වාරයට යොදවලා තිබුණේ. එයා නියමිත කාලයට පස්වරු 4ට සේවයට ඇවිත් රාත්‍රී 10ට තමයි කතරගමින් ආරම්භ කරන්නේ. දිවා කාලයේ සේවා කරලා නෑ.”

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *