කාදිනල් හිමි පවසන ඒකාධිපති වියරුව

77 වන නිදහස් දිනය නිමිත්තෙන් අද (04) උදෑසන බොරැල්ලේ සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානයේ දී පැවති දිව්‍ය පුජාවට, අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ එක් වුණා.
යුද්ධයේ මුවාවෙන් රට තුළ බිහි වූ ඒකාධිපති වියරුව රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වූ මරු පහරක් බව එම අවස්ථාව අමතමින් උන්වහන්සේ අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසනවා.
එම තත්වය නිසා, පවතින දූෂිත ක්‍රමවේදය වෙනස් කර රටට සැබෑ නිදහස උදාකර දීම වෙනුවෙන් වහාම වත්මන් ව්‍යවස්ථාව අහෝසි කර නව ව්‍යවස්ථාවක් ගෙන එන ලෙස ජනපති ඇතුළු වත්මන් රජයෙන් ඉල්ලා සිටින බවත් කාදිනල් හිමියෝ සඳහන් කරනවා.
ජනාධිපති ව්‍යවස්ථාව කියන ඒකාධිපති ක්‍රමයට පාර කපා දුන් නීති රාමුව තුළ නායකයින් තමන්ට ලැබුණු අසීමිත බලය අවභාවිත කළ බව පවසන කාදිනල් හිමි, එහි ප්‍රතිඵලයක් ලෙස ජාතීන් අතර පහසුවෙන් විසඳා ගැනීමට තිබූ විරසකයක් යුද්ධයකට හරවා රට තුළ භීෂණකාරී තත්ත්වයක් උදාකරලූ බව ද කියා සිටියා.
ඉන් අනතුරුව පත්වූ පාලකයින් විසින් මාධ්‍ය මර්දනය, මාධ්‍යවේදීන් අතුරුදන් කිරීම්, සුදුවෑන් සංස්කෘතිය හා විරුද්ධවාදීන් සිරගත කිරීම ආදි භීෂණ ක්‍රියා ද 90 දශකයේ සිට නිර්මාණ කළ බවත්, විනාශකාරී යුද්ධය නිසාවෙන් මව්බිම ගැඹුරු ආර්ථික පරිහානියකට ගොඳුරු වූ බවත් පැවසු උන්වහන්සේ, මෙම ගමන්මඟ පසුගිය දශක දෙක තුළ වඩාත් උත්සන්න වූ බව ද කියා සිටියා.