සිරි දළදා වන්දනාවට දුම්රියෙන් යන රාජ්‍ය තාන්ත්‍රිකයින්

වසර 16කට පසු පැවැත්වෙන “සිරි දළදා වන්දනාව” අද (18) සිට ආරම්භ වන අතර එහි සමාරම්භක අවස්ථාවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග රටවල් රැසක තානාපතිවරුන්, මහ කොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයන් රැසක් එක්වීමට නියමිතයි.
වියට්නාමය, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, නේපාලය, නෙදර්ලන්තය, ඉන්දියාව, මියන්මාරය, පලස්තීනය, ප්‍රංශය, නවසීලන්තය, කියුබාව, ඊජිප්තුව, ජපානය, බ්‍රිතාන්‍යය, තායිලන්තය, කැනඩාව, කොරියාව යන රටවල් නියෝජනය කරමින් එක්වන මෙම කණ්ඩායම අද පෙරවරු 7 ට පමණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට මහනුවර දක්වා ධාවනය වූ දුම්රියේ විශේෂ නැරඹුම් මැදිරියකින් මහනුවර බලා ගමන් ආරම්භ කරනු ලැබුවා.
ශ්‍රී ලංකාව නැවත ආර්ථික වශයෙන් නැගී සිටිමින් පවතින බවත්, මෙතෙක් රට වෙළාගෙන තිබු සියලු බාධාවන් ඉවත්වී රට තුළ සහජීවනය ගොඩනැගී ඇති බවටත් වන පණිවුඩය මිත්‍ර රටවල් වෙත ලබාදීම සහ එකී ගමනට එම සියලුදෙනාගේ සහාය ලබාගැනීමේ අපේක්ෂාවෙන් මෙම අවස්ථාව සංවිධානය කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
මහනුවරට ළඟාවූ පිරිස පළමුව මහවැලි රීච් හෝටලය වෙත පැමිණි අතර, එහිදී ඔවුන් වෙනුවෙන් දේශීය චරිත්‍රානුකූලව විශේෂ සිංහල – දෙමළ අලුත් අවුරුදු සංග්‍රහයක් සූදානම් කර තිබුණා.
එහිදී මෙම කණ්ඩායම සමග තවත් රාජ්‍ය තාන්ත්‍රිකයන් පිරිසක් එක්වීමට නියමිත අතර 44 දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායම ර්‍ණසිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට එක් වීම සඳහා දළදා මාලිගාව වෙත පැමිණීමට නියමිත බව සඳහන් වෙනවා.
අනතුරුව එම දුම්රියෙන් නැවත මෙම කණ්ඩායම කොළඹ බලා පිටත්වනු ඇත.
ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත මල්වතු, අස්ගිරි මහානාහිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් සහ මහනුවර ඓතිහාසික දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයාගේ මඟපෙන්වීමෙන් සංවිධානය කෙරෙන සිරි දළදා වන්දනාව අද සිට අප්‍රේල් 27 වනදා දක්වා දින 10 ක් පුරා පැවැත්වීමට නියමිතයි.