කියපු විදිහට වැඩේ කරනවා – ඒකෙ වෙනසක් නෑ

සංචාරක ක්ෂේත්‍රයේ සහ විදෙස් ගත ශ්‍රමිකයින් වෙනුවෙන් දැනටමත් හඳුන්වා දී ඇති දායක විශ්‍රාම වැටුප් ක්‍රමවේදය සම්බන්ධව විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය විජිත හේරත් මහතා ඊයේ 15 පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ අනුව, මේ වනවිටත් අදාළ පිරිස් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමවේදය ආරම්භ වී ඇති බවත්, ඉදිරියේදී මෙය ශක්තිමත්ව මෙම ක්ෂේත්‍ර දෙකේම පිරිස් වෙත හඳුන්වාදීමට පියවර ගන්නා බවත්, එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා තිබෙනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“අපේ රටින් රැකියා සඳහා විදේශ ගතවන විදෙස් ගත ශ්‍රමිකයින්ට විශ්‍රාම වැටුප් ලබාදෙන්න කියන ඉල්ලීම පසුගිය කාලය පුරාම තිබුණා. ඒ වගේම අපේ සංචාරක ක්ෂේත්‍රයේ නියුතු රියදුරු රැකියා, ඒ වගේම සංචාරක මාර්ගෝපදේශකයින්, ඒ වගේම වක්‍රව සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වෙන බොහෝ පිරිසට වයසට ගිය විට තමන්ට ජීවත් වෙන්න ක්‍රමයක් නැති වෙනවා. ඒ නිසා ඔවුන්ටත් විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දෙන්න කියලා යෝජනාවක් තියෙනවා. අපි දැනටමත් සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශ්‍යයේ තියෙනවා සමාජ ආරක්ෂණ අරමුදල. ඒ අරමුදලත් එක්ක අවබෝධතා ගිවිසුමක් අපේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනටමත් අත්සන් කරලා තියෙනවා. ඒ හරහා දැනටමත් විදේශ ගත ශ්‍රී ලාංකියින් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් තිබෙනවා. නමුත් මේක ගොඩක් විදේශගත ශ්‍රමිකයින් දන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙනවා මේ අරමුදල හරහා මේ ස්ථාපිත කරලා තියෙන විශ්‍රාම වැටුප් ක්‍රමවේදය නැතිනම් දායක විශ්‍රාම වැටුප් ක්‍රමවේදය මාසිකව ඔවුන් යම් කිසි මුදලක් බැර කළාට පස්සේ ඒ එකතුවෙන අරමුදලින් ඔවුගේ විශ්‍රාම වැටුප් ලබාදෙන ක්‍රමය විදිමත් විදිහට දැනුවත් කිරීම් හරහා ශක්තිමත්ව කරන්න. ඒ නිසා සංචාරක ක්ෂේත්‍රයේ හා විදේශ රැකියාවල ඉන්න අයටත් විශ්‍රාම වැටුප් ලබාදීමේ ක්‍රමවේදය දැනටමත් ආරම්භ කරලා තියෙනවා. ඒක තව ශක්තිමත්ව දැනුවත් කිරීම් හරහා මේ ක්ෂේත්‍ර දෙකේම ඉන්න අයට හඳුන්වා දීමට අපි පියවර අරගෙන තියෙනවා.”

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *