යළිත් ඇරඹුණු අලිමංකඩ රජ ලුණු නිෂ්පාදනාගාරය

අලිමංකඩ ලුණු කර්මාන්තශාලාවේ නව මේස ලුණු නිෂ්පාදනාගාරය අද 29 විවෘත කෙරුණා. ඒ, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙනි.

නවීන අංගෝපාංග සහ පහසුකම්වලින් සමන්විත මෙම කර්මාන්ත ශාලාවෙන් පැයකට ලුණු මෙට්ට්‍රික් ටොන් 05 ක් නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතිනවා.

මෙහි නිෂ්පාදනය කෙරෙන අයඩීන් මිශ්‍ර ලුණු ..රජ ලුණු.. යන නමින් කිලෝග්‍රෑම් 01 සහ ග්‍රෑම් 400 මේස ලුණු පැකට් අඩුම මිලක් යටතේ ඉදිරියේදී පාරිභෝගික ජනතාවට ලබාගැනීමට හැකියාව ලැබෙන අතර, මෙම කර්මාන්ත ශාලාව තුළින් සෘජු හා වක්‍ර රැකියා 450 ක් පමණ ජනිත කිරීමේ හැකියාව පවති බව වාර්තා වෙනවා.

මෙම අලිමංකඩ ලුණු ලේවායෙන් නිෂ්පාදිත ලුණු ඉතා ඉහළ ගුණාත්මක බවින් යුක්ත වන අතර, එය දේශීය වශයෙන් මෙන්ම විදේශීය වශයෙන්ද ජනප්‍රිය වී තිබෙනවා.

අලිමංකඩ ලුණු ලේවාය 2001 වර්ෂයේදී ලුණු සමාගම යටතට පත් වුවත් ශ්‍රී ලංකාවේ පැවති යුද්ධය හේතුවෙන් එහි නිෂ්පාදන කටයුතු සිදු කිරීමට නොහැකි වූ බවත්, මේ වන විට එම කර්මාන්ත ශාලාව ක්‍රමයෙන් ඉදිරියට ගෙනවිත් මේස ලුණු නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලාවක් ඉදිකිරීම දක්වා ඉදිරියට රැගෙන ඒමට හැකියාව ලැබී ඇති බවත් සඳහන් වෙනවා.

2024 වර්ෂයේදී ලුණු මේට්ට්‍රික් ටොන් 13,800 ක ප්‍රමාණයක් නිෂ්පාදනය කර ඇති මෙම ලේවායේ 2025 වර්ෂය තුළ ලුණු මෙට්ට්‍රික් ටොන් 20,000 ක ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීම අපේක්ෂාව බව වාර්තා වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *