ඩෑන් ප‍්‍රියසාද්ගේ ඝාතකයෝ හඳුනා ගත්තාද?

ඩෑන් ප්‍රියසාද් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් දෙදෙනෙකු අද (09) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවති හඳුනා ගැනීමේ පෙරට්ටුවකදී සාක්ෂිකරුවන් විසින් හඳුනා ගෙන තිබෙනවා.
කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතාගේ නියෝගයකට අනුව මෙම පෙරෙට්ටුව අද පැවැත්වුණු අතර, එහිදී සාක්ෂිකරුවන් තුන්දෙනෙකු විසින් මෙම සැකකරුවන් දෙදෙනා හඳුනාගත් බව අධිකරණයට දැනුම් දී තිබෙනවා.
ඉන් අනතුරුව සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විමර්ශනය වැරදි පාරක යන බව සඳහන් කර තිබෙන අතර, අත්අඩංගුවේ පසුවන සැකකරුවන් දෙදෙනාම මෙම සිද්ධියට කිසිසේත්ම සම්බන්ධ නොමැති බවත් නියම වෙඩික්කරුවන් නිදැල්ලේ සිටින බවත් ඔහු පවසා තිබෙනවා.
මෙම හඳුනා ගැනීමේ පෙරෙට්ටුව සඳහා ඉදිරිපත් කළ සාක්ෂිකරුවන් දෙදෙනෙකු, දෙවන සැකකරුගේ ඥාතීන් බව සඳහන් කළ නීතිඥවරයා සැකකරුවෝ හොඳින් හඳුනන ඥාතීන් දෙදෙනෙකු ඔහු හඳුනා ගැනීම සඳහා පෙරට්ටුවකට ඉදිරිපත් කිරීම නීත්‍යානුකූල නොවන බවත් පවසා තිබෙනවා.
එහෙත්, සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව සහ ක්‍ක්‍ඔඪ දර්ශනවලින් අනාවරණය කරගත් තොරතුරු මත මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවත්, සිද්ධියට සම්බන්ධ විමර්ශන තවදුරටත් සිදුකෙරෙන බවත්, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බස්නාහිර පළාත් දකුණ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරියා අධිකරණය හමුව සඳහන් කරනවා.
ඉන් අනතුරුව අදාළ සැකකරුවන් ලබන 23 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය විසින් නියම කර තිබෙනවා.