ජර්මනියෙන් වාර්තා වූ බිහිසුනු සිදුවීම

ජර්මනියේ මියුනික් හිදී විරෝධතාවක නිරත වෙමින් සිටි පිරිසක් අතරට සිතාමතා මෝටර් රථයක් ධාවනය කිරීමෙන් සිදුකළ අනතුරකින් පුද්ගලයින් 28 දෙනෙකු තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අනතුරින් සිදුවී ඇති ජීවිත හානි පිළිබඳව මෙතෙක් වාර්තා වී නැති අතර, අනතුරට ලක්වූ පිරිස අතර කම්කරු වෘත්තිය සමිති විරෝධතාවකට එක්වූ පිරිසක් ද වන බව වාර්තා වෙනවා.
අනතුර පිළිබඳව නිශ්චිත වැඩිදුර තොරතුරු මෙතෙක් වාර්තා වී නොමැති අතර, සැකකරුවන් දෙදෙනකු පිළිබඳව අනතුර සියැසින් දුටු පිරිස් කරුණු පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එමෙන්ම මෝටර් රථයේ රියදුරු ලෙස පැවසෙන අයෙක් අත්අඩංගුවට ගෙන ඇති බවත්, අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 24 හැවිරිදි ඇෆ්ගනිස්තාන ජාතික සරණාගතයෙකු බවත්, විදෙස් මාධ්‍ය තවදුරටත් වාර්තා කරනවා.
විශේෂයෙන් ම මෙම නගරයේදී ඉහළ පෙළේ ආරක්ෂක සමුළුවක් ද පැවැත්වීමට නියමිතව තිබියදී මෙම සිද්ධිය වාර්තා වී ඇති අතර, අදාළ සමුළුව සඳහා අමෙරිකානු උප ජනාධිපති සහ යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි ද එක්වීමට නියමිතව සිටි බවත් වාර්තා වෙනවා.