නව “COVID – 19” ප්‍රභේදය ලංකාවට බලපාන්නේ කොහොමද?

ශ්‍රී ලංකාව තුළ නව “COVID – 19” ප්‍රභේදයක් ව්‍යාප්තවීමේ අවදානමක් නොමැති බැවින් අනිසි බියක් ඇතිකර ගැනීමට අවශ්‍ය නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත පදනම් කරගනිමින් නිවේදනයක් නිකුත්කරමින් ඔහු මේ බව කියා සිටිනවා.

පසුගිය සති කිහිපයේ දී ආසියානු රටවල් කිහිපයක “COVID – 19” ආසාදිතයන් සංඛ්‍යාවේ ඉහළයාමක් පෙන්නුම් කර ඇති බව මාධ්‍ය වාර්තා කර තිබුණු බවත්, මෙම රෝගී තත්ත්වයට මුහුණදීමේ හැකියාව අඩුවීම ඇතුළු සාධක කිහිපයක් ඊට හේතු වියහැකි බව හෙතෙම පෙන්වා දෙනවා.

එය සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ජාතික මට්ටමින් සූදානම් වීම සහ මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය පියවර තීව්‍ර කර ඇති බවත් එම නිවේදනයේ සඳහන් වෙනවා.

“COVID – 19” සඳහා සායනික සාම්පල පරීක්ෂා කරනු ලබන ඒකාබද්ධ ශ්වසන ආවේක්ෂණය රට පුරා තෝරාගත් රෝහල්වල අඛණ්ඩව සිදුවෙමින් පවතින බවද එම නිවේදනයේ දැක්වෙනවා. ඒ අනුව, එම ආවේක්ෂණයට අනුව දැනට “COVID – 19” රෝගීන්ගේ වැඩිවීමක් පෙන්නුම් නොකරන බව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරනවා.

තවද ශ්‍රී ලංකාවේ ඇතිවිය හැකි වසංගත තත්ත්වයන් කල්තියා හඳුනාගැනීමට අවශ්‍ය රසායනාගාර ආවේක්ෂණ පද්ධතිය ද සක්‍රීයව ක්‍රියාත්මක බවද එම නිවේදනයේ දක්වා තිබෙනවා.

කලින් කලට අනෙකුත් ශ්වසන රෝග (උදා: ඉන්ෆ්ලුවෙන්සා) මෙන්ම, “COVID – 19” රෝගීන්ගේ වැඩිවීමක් ඇතිවිය හැකි බවත්, දැනට සාමාන්‍ය ජනතාවට ඇති අවදානම අඩු මට්ටමක පවතන බවත්, එහි සඳහන් වෙනවා.

කෙසේ වෙතත් වැඩිහිටියන්, ප්‍රතිශක්තිකරණය අඩු පුද්ගලයින් සහ නිදන්ගත රෝග ඇති පුද්ගලයින් වැනි වැඩි අවදානමට ලක්විය හැකි කණ්ඩායම් කෙරෙහි විශේෂ අවධානයකින් සිටීම වැදගත් බව ද එම නිවේදනයේ සඳහන් කර තිබෙනවා.

නිතර අත්සේදීම, කැස්ස සහ කිවිසුම් යන විට නාසය සහ මුඛ ආවරණය කිරීම ඇතුළු මූලික සනීපාරක්ෂක පිළිවෙත් සහ ශ්වසන ආචාර විධි නිරන්තරයෙන් පවත්වා ගත යුතු බවද විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

ඇති විය හැකි වසංගත තත්ත්වයන්ට මුහුණ දීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රෝහල් පද්ධතිය ද සූදානම් කර තිබෙන අතර, “COVID – 19” තත්ත්වයේ කාලයත් සමග සිදුවන වෙනස්කම් පිළබඳ සෞඛ්‍ය බලධාරීන් අවධානයෙන් සිටින අතර, ඔවුන් නිල වශයෙන් ලබාදෙන තොරතුරු කෙරෙහි පමණක් අවධානය යොමු කරන ලෙස ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *