කලින් සැරේ වැරදුණාට ආයේ වෙන්නේ නෑලූ

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමීර් සෙලෙන්ස්කි යළි හමුවීමකට සූදානම් වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම හමුව බොහෝ විට ලබන සතියේ සෞදි අරාබියේදී පැවැත්වෙන බවයි එම මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.
එම සාකච්ඡා අර්ථවත් හමුවක් වනු ඇති බව, තමන් බලාපොරොත්තු වන බව යුක්‍රේන ජනාධිපතිවරයා සඳහන් කරනවා.
පසුගියදා රුසියා යුක්‍රේන යුද ගැටුම් අවසන් කිරීම සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති සහ යුක්‍රේන ජනපති අතර වොෂින්ටන් නුවර පැවති සාකච්ඡා අසාර්ථක වුණේ, දෙරටේ නායකයින් අතර උණුසුම් වචන හුවමවාරුවකින් එය අවසන් වීමත් සමගයි.
මේ අතර, සාමය පිළිබඳ සංවාද තවදුරටත් පැවැත්වීමට කැමැත්ත ප්‍රකාශ කරමින් යුක්‍රේන ජනපතිවරයා විසින් අමෙරිකානු ජනපති ට්‍රම්ප්ට ලිපියක් යොමු කර තිබෙන අතර, ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ, එම ලිපිය ලැබීම තමන් අගය කරන බවයි.
මේ අතර, කැනඩාව සහ මෙක්සිකෝවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා පනවා තිබූ තීරු බදු අමෙරිකාව අත්හිටුවා තිබෙන අතර, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවා තිබූ 25 ක තීරු බදු අප්‍රේල් 02 වැනිදා දක්වා අත්හිටුවීමේ නියෝගයකට අත්සන් කර තිබෙනවා. මෙක්සිකානු ජනාධිපති ක්ලෝඩියා ෂයින්බෝම් සමග අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පැවති සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගෙන තිබෙන බව සඳහන් වෙනවා.
කැනේඩියානු සහ ට්‍රම්ප් පරිපාලන නිලධාරීන් අතර ද සාකච්ඡා පැවති බවත්, මෙක්සිකානු ජනාධිපතිවරයා විසින් මෙම පියවර සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට ස්තූතිය පල කර තිබෙන බවත්, විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.