සෑහෙන වටයක් ගිහින්නේ

වත්තල ප්‍රදේශයේදී ලොරි රථයක් පැහැරගෙන පලායමින් සිටියදී පුද්ගලයෙකුව කඩුවෙල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කඩුවෙලදී එම රථයට වෙඩිතබා නවතාගෙන සැකකරුවෙකු ද අත්අඩංගුවට ගත් බවත්, අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී මෙරට නිශ්පාදිත අත්බෝම්බයක්ද හමු වූ බවත් කඩුවෙල පොලිසීය පවසනවා.
අදාළ ලොරි රථය නොරොච්චෝලේ සිට සුපිරි වෙළෙඳසැලක් සඳහා එළවළු පටවාගෙන යන අතරතුර වත්තල ප්‍රදේශයේ තේ කඩයක් අසල නවත්වා තිබෙන අතර, එහිදී රියදුරු තේ බීමට ගිය අවස්ථාවේදී අදාළ සැකකරු විසින් ලොරිය පැහැරගෙන තිබෙනවා.
පසුව ලොරියේ රියදුරු විසින්, රියදුරු ත්‍රීරෝද රථයකින් ලොරිය පිටුපස හඹා ගියද අල්ලා ගැනීමට නොහැකි වූ බැවින් පොලීසියට දැනුම්දී, එම ලොරියේ GPS ක්‍රියාවලිය ගැනද පොලීසිය දැනුම්වත් කර තිබෙනවා.
ඒ අනුව වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අදාළ ලොරිය නැවැත්වීමට පොලීසිය උත්සාහ ගත්තද එය ව්‍යාර්ථ වී තිබෙන බවත්, පසුව කඩුවෙල දෙසට පැමිණි අවස්ථාවේදී පොලිස් කණ්ඩායම් කිහිපයක් ලොරිය පසුපස හඹාගොස් ඇති බවත්, එහිදී තලාහේන ප්‍රදේශයේදී සහ කඩුවෙලදී වෙඩිපහර කිහිපයක් එල්ලකර තිබෙන බවත් පොලීසිය පවසනවා.
නමුත් මෝටර් රථ 2 ක්, බස් රථයක් සහ ත්‍රීරෝද රථයක් හප්පා දමමින් එම ලොරිය ඉදිරියට ගොස් ඇති අතර, පලායන අතරතුර ඉසුරුපායේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පිටුපස ගේට්ටුවකටද හානි සිදුකර ඇති බව පොලීසිය සඳහන් කරනවා.
අනතුරුව කඩුවෙල නගරයේදී තවත් ලොරි රථ යොදාගනිමින්, පොලීසිය විසින් ලොරිය පැමිණෙන මාර්ගය හරස් කර තිබෙන අතර, එහිදී මාර්ග බාධක යොදා තිබූ අවස්ථාවේ සැකකරු එම ස්ථානයට පැමිණ නැවත හැරීයාමට සැරසී තිබෙනවා. එම අවස්ථාවේදී, පොලීසිය විසින් යළිත් වෙඩි පහර කිහිපයක් ලොරියට එල්ලකර එය නවතාගැනීමට කටයුතුකර තිබෙනවා.
කඩුවෙල අධිකරණ සංකීර්ණය අසලදී ලොරි රථය නවතා දමා සැකකරු ඉන් පලායාමට උත්සාහ දැරූ අවස්ථාවේදී පොලිස් අත්අඩංගුවට පවත්ව තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කැලණිය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි පුද්ගලයෙක් බව පොලීසිය සඳහන් කරනවා.
සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.