අම්බලන්ගොඩ ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු රැසක්

ඊයේ (14) රාත්‍රියේ අම්බලන්ගොඩදී පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කිරීම, ප්‍රදේශයේ සිදුවන නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධයෙන් පොලීසියට ඔත්තු දෙන බවට ඇතිවූ සැකය මත සිදුවූවක් බවට පොලීසිය සැක පළ කරනවා.
අම්බලන්ගොඩ, ඉඩම්තොට බුදු මැදුර අසලදී ඊයේ රාත්‍රී 6.45 ට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර තිබුණු අතර, වෙඩිවැදීමෙන් එම ස්ථානයේ සිටි ක්‍රිෂාන්ත මෙන්ඩිස් හෙවත් පොඩි සුද්දා නමැත්තා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
45 හැවිරිදි පොඩි සුද්දා නමැත්තා සිව්දරු පියෙකු වන අතර ඔහු ප්‍රදේශයේ කුලීවැඩ කරමින් ජීවත්ව ඇති බව පොලීසිය පවසනවා. එමෙන්ම ඔහුට විරුද්ධව කිසිඳු අපරාධමය චෝදනාවක් නොමැති බවත්, ඉතා සාමකාමී අයුරින් ප්‍රදේශයේ ජීවත් වූවකු බවත්, පොලීසිය සඳහන් කරනවා.
කෙසේවෙතත්, ඔහු ප්‍රදේශයේ සිදුවූ නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධයෙන් පොලිසියට ඔත්තු ලබාදෙන බවට ඇති වූ සැකයක් මත සමන් ප්‍රියන්ත හෙවත් සමන් කොල්ලා නම් අපරාධකරුගේ පාර්ශ්වය මෙම ඝාතනය සිදුකර ඇති බවට සැකකරන බව පොලීසිය පවසනවා.
ඝාතනයට ලක්වූ පුද්ගලයාට සමන් කොල්ලා නම් අපරාධකරුගේ පාර්ශ්වයේ සාමාජිකයන් දෙදෙනෙකු විසින් පසුගිය ජනවාරි මාසයේ පහරදීමක් ද සිදුකර ඇති බවත්, 2016 වසරේ දෙසැම්බර් මස 05 වැනිදා ද අම්බලන්ගොඩ, ඉඩම්තොට ප්‍රදේශයේදී පොලීසියට ඔත්තුදීමේ සැකය මත එකම පවුලේ පියා, මව සහ සිව් හැවිරිදි දරුවෙකු, සමන් කොල්ලා නම් අපරාධකරුගේ පාර්ශ්වය විසින් වෙඩිතබා ඝාතනය කර තිබෙන බව සඳහන් වෙනවා.
