“කලට වැසි වසිත්වා – කෙත්වතු සාරවත් වේවා”

58 වන ජාතික අලුත් සහල් මංගල්‍යය, අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියසදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (4) පෙරවරුවේ දී පැවැත්වුණා.

සාම්ප්‍රදායිකව වාර්ෂිකව මාස් කන්නයේ නෙළාගත් අස්වැන්නෙහි නොඉඳුල් සහලින් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් පිදීමේ අරමුණින් සිදුකරන මෙම .ජාතික අලුත් සහල් මංගල්‍යය.. රජ සමයේ සිට පැවැත එන චාරිත්‍රයක් වෙනවා.

“කලට වැසි වසිත්වා – කෙත්වතු සාරවත් වේවායි” ප්‍රාර්ථනා කිරීමත්, කෘෂිකර්මාන්තයෙන් රට ස්වයංපෝෂිත වී සමෘද්ධිමත් ආර්ථීකයක් ඇති වී රටට, ජාතියට සෙත් පැතීම මෙහි අරමුණ වෙනවා.

අනුරාධපුර සිංහ කණුව අසල සිට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ දක්වා පැමිණි අලුත් සහල් රැගත් පෙරහර ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ වැලි මලුවට ගෙවැදීම සිදුකෙරුණා.

මෙහිදී අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමින්වහන්සේ අලුත් සහලින් රන් පත්‍රය පිරවීම ආරම්භ කළ අතර, ඊට ජනාධිපතිවරයා, රජයේ මැති ඇමතිවරුන් සහ ගොවි නායකයින්ද සහභාගි වූවා.

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට මී පැණි පූජා කිරීම සඳහා ආදිවාදි උපනායක විසින් ජනාධිපතිවරයාට මී පැණි ලබාදීමත්, රත්නපුර මහ සමන් දේවාලය විසින් මල් පූජාව සඳහා අවශ්‍ය පූජා ද්‍රව්‍ය ලබාදීමත් මෙහිදී සිදුකෙරැණා.

රටේ ජනතාව තෘප්තිමත් නොකර කිසිඳු ආණ්ඩුවකට ඉදිරියට යා නොහැකි බව, මෙහිදී අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් පවසා තිබෙනවා.

“අද තියෙන තත්ත්වය අනුව ඉතා විශාල පිරිවැයක් දරලා ගොවියාට සහන දෙන ආණ්ඩුව තෘප්තිමත් වෙන්නෙත් නෑ, ගොවියා තෘප්තිමත් වෙන්නෙත් නෑ,  අතරමැදියන් සතුටට පත්වෙන්නෙත් නෑ, පාරිභෝගික ජනතාව තෘප්තිමත් වෙන්නෙත් නෑ. 

අපි ආර්ථික විද්‍යඥයෝ නෙමෙයි. ඒ නිසා මේ ගැටළුව සම්බන්ධයෙන් අපට නොපෙනෙන කුමක් හෝ අඩුපාඩුවක් තියෙනවා. 

රටේ ජනතාව තෘප්තිමත් නොකර කිසිදු ආණ්ඩුවකට ඉදිරියට යන්නත් බෑ පවතින්නත් බෑ.

ජනාධිපතිවරයාත්, කෘෂිකර්ම අමාත්‍යවරයාත් ගොවි පවුල්වලට ලේ නෑකම් තියෙන නිසා මේ වගකීම ඉතාම තරයේ හිතට අරගෙන පිළියම් යොදනවා ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. අපි හැම වෙලාවෙම ඉන්නේ ගොවියන්ගේ පැත්තේ”

ගොවි ජනාතාවට සංවර්ධනයක් අපේක්ෂා කළහැකි වන්නේ තමන් ආණ්ඩුව යටතේම පමණක් බව, මෙහිදී ජනාධිපතිවරයා පවසා සිටියා.

ඒ ගැන වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

“අපි ඉතා හොදින් ගොවි ජනතාව මුහුණදෙන ගැටලු ගැන අවබෝධයක් තිබෙන මිනිස්සු. 

මේ රටේ ගොවි ජනාතාවටත් කෘෂිකර්මාන්තටත් සංවර්ධනයක් අපෙක්ෂා කළහැකි වන්නේ අපෙන්ම පමණයි”.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *