එක නඩුවකට ඇප නැති මන්ත්‍රී චාමර අධිකරණයට

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අද (01) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආ බව වාර්තා වෙනවා.

නඩු තුනක් සම්බන්ධයෙන් පසුගිය 27 වනදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට නඩු දෙකකින් ඇප හිමි වුවත් එක් නඩුවකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ අනුව, චාමර සම්පත් දසනායක මහතා අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් ප්‍රධාන ඇමති ලෙස 2016 වසරේ කටයුතු කළ සමයේ ඌව පළාතේ පෙරපාසල් ළමුන් සඳහා පොත් බෑග් ලබාදීමට බව පවසමින් රාජ්‍ය බැංකු 3 කින් මුදල් ඉල්ලා තිබෙනවා.

එහිදී බැංකු දෙකකින් රුපියල් ලක්ෂ 10 බැගින් සහ රුපියල් ලක්ෂ 25 බැගින් ලබාදී ඇති අතර, ඔහු එම මුදල් ඔහුගේ පෞද්ගලික පදනමේ ගිණුමට බැර කරගෙන ඇති බව සඳහන් වෙනවා.

කෙසේවෙතත්, තෙවන බැංකුවෙන් මුදල් ඉල්ලා සිටි අවස්ථාවේදී මුදල් ලබාදීම එම බැංකුව ප්‍රතික්ෂේප කර ඇති අතර, එහිදී චාමර සම්පත් දසනායක මහතා විසින් ඌව පළාත් සභාවට ඇති ස්ථාවර තැන්පතු එම බැංකුවෙන් ඉවත් කරගෙන තිබෙනවා.

මෙමඟින් රජයට රුපියල් ලක්ෂ 173 ක පාඩුවක් සිදුව ඇති බව පවසමින් අල්ලස් කොමිසම අධිකරණය හමුවේ කරුණු ගොනුකර තිබෙනවා.

අදාළ කරුණු සලකාබැලීමෙන් අනතුරුව පළමු චෝදනා 2 සඳහා චාමර සම්පත් දසනායක මහතාට ඇප හිමි වුවත්, තුන්වන චෝදනාවට ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කරනු ලැබුවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *