අදින් අවසන් වූ තැපැල් ඡන්දය

පළාත් පාලන මැතිවරණය සඳහා තැපැල් ඡන්ද සළකුණු කිරීමේ කටයුතු අද (29) පස්වරු 04.00 ට අවසන් වුණා.
ඒ අනුව, අද දිනයේදී තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අවසන් වන බව මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.
විශේෂයෙන් ම තැපැල් ඡන්දය සලකුණු නොකළ පිරිස් වෙත ඡන්ද මධ්‍යස්ථානයේදී ඡන්දය භාවිත කිරීමේ කිසිදු හැකියාවක් නොමැති බවත් මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කරනවා.
මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා පුද්ගලයින් 648,495 ක් සුදුසුකම් ලබා තිබුණු අතර, දින 04 ක් පුරාවට පැවැති තැපැල් ඡන්ද භාවිත කිරීම ඉතාම සාමාකාමි අයුරින් සිදුවූ බව පැෆ්රල් සංවිධානය සඳහන් කරනවා.
එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ ඡන්දය භාවිත කිරීම ඉතා ප්‍රශස්ත මට්ටමක පැවති බව තම සංවිධානය වෙත නිරීක්ෂණය වූ බවයි.
පළමු දිනම තැපැල් ඡන්දය භාවිත කිරීම 60% ඉක්මවා ගිය බව පැවසු ඒ මහතා, පැවති දින 4 ක කාලය තුළ තැපැල් ඡන්ද භාවිත කිරීම ඉහළ මට්ටමක පැවැති බව පවසනවා.
එමෙන්ම වෙනත් මැතිවරණයන්ට සාපේක්ෂව ප්‍රචාරණ ව්‍යාපෘති වුවද, මෙවර මැතිවරණයේදී ඡන්ද මධ්‍යස්ථාන ආශ්‍රිතව දක්නට නොලැබුණු බවත්, පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කරනවා.