ලංකාවේ මේ තරම් අලි – මිනිස් මරණ?

පසුගිය වසර 9 ක කාලය තුළ දී ලංකාවේ වන අලි මරණ 3,477 ක් සිදුව ඇති බව අද 06 පාර්ලිමේන්තුවේ දී අනාවරණය වුණා.
2015 – 2019 කාලය තුළ දී වන අලි 1,466 ක් මියගොස් ඇති අතර, 2020- 2024 කාලය තුළ වන අලි 2,011 ක් මියගොස් ඇති බව, පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියා.
මේ අතර, වනඅලි පහරදීම්වලින් පසුගිය වසර 9 තුළ දී මිනිස් ජීවිත 1,190 ක් අහිමිව ඇති බවද අමාත්‍යවරයා පැවසුවා. ඒ 2015 – 2019 කාලයේ දී මිනිස් ජීවිත 456ක් සහ 2020 – 2024 යන කාලයේ දී ජීවිත 734 ක් ලෙසයි.
අලි – මිනිස් ගැටුමට විසඳුම් ලබාදීමට යම්කිසි කාලයක් ගතවෙන බවත්, වනජීවි දෙපාර්තමේන්තුව මේ තුළ ගැටලුකාරී තත්ත්වයකට මුහුණපා ඇති බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් නෙල්සන් මහතා ඉදිරිපත් කළ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පවසා සිටිනවා.
වන අලි මෙන්ම මිනිසුන් මුහුණපා ඇති මෙම අර්බුදකාරී තත්ත්වය කෙරෙහි අවධානය යොමු කර ඉදිරි අයවැයේ දී ඊට විසඳුම් සෙවීම සඳහා ප්‍රමාණවත් මුදලක් වෙන්කිරීමට තීරණය කර ඇති බව ද අමාත්‍යවරයා පවසා තිබෙනවා.
එමෙන්ම නව පර්යේෂණ තුළින් සහ මේ සඳහා එක් කරගත යුතු සියලු ආයතන එකතු කරගනිමින් විසඳුම් සෙවීමට නියමිත බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.
