අදින් ඇරඹෙන ලංකාවේ සුන්දරම දුම්රිය ගමන

උඩරට මාර්ගයේ දෙස් විදෙස් සංචාරකයින්ගේ වැඩිම ආකර්ෂණය ලක්ව ඇති කොටස ලෙස හඳුනාගෙන ඇති මහනුවර සහ බදුල්ල අතර කොටසේ ස්වභාව සෞන්දර්ය නැරඹීම වෙනුවෙන් විදෙස් සංචාරකයින් සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව හඳුන්වා දුන් ඇල්ල ඕඩිසී මහනුවර දුම්රිය අද 01 සිය මංගල ගමන ආරම්භ කරනු ලැබූ බව වාර්තා වෙනවා.
ඒ අනුව මහනුවරින් උදෑසන 9.45 ට ගමන් ආරම්භ කරනු ලැබූ මෙම දුම්රිය පස්වරු 5.25 ට දෙමෝදර දුම්රිය ස්ථානයට ළඟා වීමට නියමිත බව සඳහන් වෙනවා.
දෙමෝදර දුම්රිය ස්ථානයෙන් යළිත් පස්වරු 6.00 ට යළිත් ගමන් ආරම්භ කරන මෙම දුම්රිය මධ්‍යම රාත්‍රී 12.00 ට මහනුවර දුම්රිය ස්ථානය දක්වා ළඟා වීමට නියමිතයි.
මෙම දුම්රියේ පළමු පන්තියේ වෙන් කළ ආසන 176ක් සහ දෙවැනි පන්තියේ වෙන් කළ ආසන 176ක් ද පවතින අතර තුන්වැනි පන්තියේ වෙන්කළ ආසන 44ක් පවතින අතර, මෙම දුම්රිය සෑම සති අන්තයකම පමණක් ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
මෙම දුම්රිය පේරාදෙණිය, නාවලපිටිය, හැටන්, ග්‍රේට්වෙස්ටන්, නානුඔය, පට්ටිපොල, ඔහිය, ඉදල්ගස්හින්න, හපුතලේ, බන්ඩාරවෙල, ඇල්ල යන දුම්රිය ස්ථානවල පමණක් නවත්වනු ලබන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
විශේෂයෙන්ම, මෙම දුම්රිය ආරුක්කු නමය පාලම අසළ විනාඩි 10 ක පමණ කාලයක් නවතා තබන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව වාර්තා කරනවා.
මේ අතර, එළැඹෙන 10 වැනිදා සිට ඇල්ල ඕඩිසි- නානුඔය නව දුම්රිය ධාවනය කරවීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙන අතර, එය උදෑසන 8.10 ට නානුඔය දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කර බදුල්ල දුම්රිය ස්ථානයට දහවල් 11.35 ට ළඟා වීමට නියමිතයි.
ඒ වගේම, දහවල් 1.00 ට යළිත් බදුල්ලෙන් ගමන් ආරම්භ කරන මෙම දුම්රිය පස්වරු 5.30 ට යළිත් නානුඔය දුම්රිය ස්ථානයට ළඟා වීමට නියමිත බව සඳහන් වෙනවා.
මෙම දුම්රිය බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා යන දිනවලදී ධාවනය කරවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙන අතර, මේ වන විටත් ඇල්ල ඕඩිසී කොළඹ කොටුව දුම්රිය සතියේ දිනවල බදුල්ල දුම්රිය ස්ථානය දක්වා ධාවනය කරවීමටද පියවර ගෙන තිබෙනවා.