වෙසක් බලන්න ගිහින් එද්දි වුණු අනතුර

වෙසක් සිරි නැරඹීමට ගිය පිරිසක් රැගත් බස් රථයක් මහනුවර, කුළුගම්මන ප්‍රදේශයේදී ඊයේ (12) රාත්‍රියේ අනතුරකට ලක්වීමෙන් 37 දෙදෙනකු තුවාල ලබා රෝහල් ගතකරනු ලැබු බව වාර්තා වෙනවා.

තුවාල ලැබූවන්ගෙන් 28 දෙනෙකු මහනුවර මහ රෝහලේත් තවත් 6 දෙනෙකු පේරාදෙණිය ශික්‍ෂණ රෝහලේත් තවදුරටත් ප්‍රතිකාර ලබන බවයි රෝහල් බලධාරීන් සඳහන් කරනවා.

මහනුවර යටිහලගල කුළුගම්මන වංගු සහිත මාර්ගයකදී ඊයේ රාත්‍රි 10 ට පමණ මේ අනතුර සිදුව තිබුණු අතර, කුරුණෑගල, ගල්ගමුව, ඇහැටුවැව ප්‍රදේශයන්හි පිරිසක් මහනුවර දළදා මාළිගාව ඇතුළු විහාරස්ථාන කිහිපයක් වැදපුදා ගැනීමෙන් අනතුරුව යළිත් ගල්ගමුව බලා යමින් සිටිදීයි මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.

ඉතා කෙටි වංගු සහිත මාර්ගයේ බස් රථය ධාවනය කිරීමේදී හදිසියේ ඇති වූ තිරිංගවල දෝෂයක් හේතුවෙන් මේ අනතුර සිදුව ඇති බව මේ වනවිට සිදුකර ඇති මූලික විමර්ශනවලින් අනාවරණ වී ඇති බව අලදෙණිය පොලිසියේ නිලධාරීන් සඳහන් කරනවා.

සිද්ධියෙන් තුවාල ලැබූවන් කඩිනමින් ප්‍රතිකාර සඳහා තිත්තපජ්ජල රජයේ රෝහලට, පේරාදෙණිය ශික්‍ෂණ රෝහලට හා මහනුවර ජාතික රෝහලටත් ඇතුළත් කෙරුණු බව සඳහන් වෙනවා.

තුවාල ලැබූවන් අතර කුඩා දරුවන්ද සිටින අතර, තුවාල ලැබූවන්ගෙන් බොහෝ දෙනෙකුගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

කෙසේ වුවත්, ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ ඉතා කෙටි වංගු සහිත මෙම මාර්ගයේ වාහන ධාවනයේදී සැලකිලිමත් විය යුතු බවට අනතුරු ඇඟවීමේ පුවරු සවිකරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටියත් එය මෙතෙක් ඉටුවී නොමැති බවයි.

බස් රථයේ රියදුරාද මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර, අනතුර සම්බන්ධයෙන් අලදෙණිය පොලිසිය මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *