මහ මගදී අවසන් වුණූ තරුණයින් දෙදෙනෙකුගේ ජීවිත

ඊයේ (21) රාත්‍රී 11.45 ට පමණ, දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේ සිදුකළ වෙඩිතැබීමකින් තරුණයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
යතුරුපැදියකින් ගමන්කරමින් සිටි තරුණයින් දෙදෙනෙකුට වෑන් රථයකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් ටී-56 හා මිලිමීටර් 9 වර්ගයේ ගිනිඅවි දෙකකින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බව වාර්තා වෙනවා.
ඝාතනය වූ තරුණයින් දෙදෙනාගේ යහළුවෙකුගේ උපන්දින සාදයක් දෙවිනුවර කපුගම්පුර ප්‍රදේශයේ නිවසක පවත්වා ඇති අතර, එයට සහභාගි වී නැවත සිය නිවෙස් වෙත පැමිණෙමින් සිටියදී පසුපසින් පැමිණි වැන් රථය යතුරුපැදියේ හප්පා, ඉන් අනතුරුව මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවට පොලීසිය සිදුකළ මුලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
වෙඩි තැබිම සිදුවූ ස්ථානයේ ටී-56 උණ්ඩ කොපු 39 ක්, ජීව උණ්ඩ 02 ක්, මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ කොපු 02 ක් හා ජීව උණ්ඩ 02 ක් සොයාගැනීමට හැකිව තිබෙන අතර, වෙඩික්කරුවන් පැමිණි බවට සැකකෙරන වෑන් රථයක් වෙඩිතැබීම සිදුවූ ස්ථානයේ සිට මීටර් 800 ක් පමණ දුරින් පිහිටි අතුරු මාර්ගයක ගිනිතබා ගොස් තිබියදී පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. කෙසේ වෙතත්, එහි තිබී ටී-56 තුවක්කුවකට යොදන මැගසීනයක් හා තවත් ටී-56 උණ්ඩ කොපු හමු වී තිබෙනවා.
මෙම වෙඩිතැබීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දෙවිනුවර සිංහාසන පාරේ පදිංචිව සිටි යොමේෂ් නදීෂාන් හා පසිඳු තාරුක නැමති 28 හා 29 වියේ පසු වූ තරුණයන් දෙදෙනෙකු බව පොලීසිය පවසනවා. වෙඩිතැබීම සිදුවූ ස්ථානයේ මහෙස්ත්‍රාත් පරීක්ෂණය මාතර අතිරේක මහෙස්ත්‍රාත් මාලන් ශිරාන් ජයසුරිය මහතා විසින් අද 22 අළුයම් කාලයේදිම සිදු කරනු ලැබුවා.
වෙඩිතැබීම සිදුකළ පුද්ගලයින් හෝ මෙම වෙඩිතැබීමට හේතුව පිලිබඳව මෙතෙක් කිසිවක් අනාවරණය වී නොමැති අතර, වෙඩිතැබීම සම්බන්ධයෙන් සොයා බැලීමට, පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා විමර්ශන කටයුතු සිදුකරන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරනවා.
