පැය 5 කට පමණ පසු පිටව ගිය මන්ත‍්‍රීවරයා

ප‍්‍රශ්නගත එයාර් බස් ගනුදෙනුව පිළිබඳ සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (26) පෙරවරු 9ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉන් පිටව ගිය බව වාර්තා වෙනවා.
ඒ අනුව පැය 05 කට අධික කාලයක් මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ ලබාදී තිබෙනවා.
2013 වසරේදී ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට එයාර්බස් ්-330 ගුවන් යානා 06 ක් සහ ්- 350 වර්ගයේ ගුවන් යානා 08 ක් මිලට ගැනීමේදී එයාර්බස් සමාගම සහ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම අතර සිදුවූ අයථා මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන්, එම එයාර්බස් සමාගමට අදාළව විදෙස් අධිකරණයක පැවති නඩු කටයුත්තකට ඉදිරිපත් වී තිබූ ලිපිලේඛන හරහා පසුගිය කාලයේ චෝදනා එල්ල වී තිබුණා.
එම ලිපි ලේඛනවල එයාර් බස් සමාගම විසින් මෙම ගුවන් යානා අලෙවි කිරීමට පෙර ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රෙස්නගේ බිරිඳ වන නියෝමාලි විජේනායක මහත්මියට අල්ලසක් ලබාදී ඇති බවට සඳහන් වුණා.
එම තොරතුරුවලට අනුව මෙම ගුවන් යානා ගනුදෙනුව සිදුකිරීමට පෙර එයාර්බස් සමාගම අමෙරිකානු ඩොලර් මිලියන 16 ක අල්ලස් මුදලක් කපිල චන්ද්‍රෙස්න මහතාගේ බිරිඳට ලබාදීමට සාකච්ඡා කර ඇති අතර, ඒ සඳහාම බෘනායි හී පිහිටුවූ සමාගමකට අවම වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 02ක මුදලක් බැර කර තිබෙන බවද අනාවරණ කර තිබෙනවා.
ඒ අනුව ප්‍රශ්නගත ගනුදෙනුව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කළ අතර, 2020 වසරේ පෙබරවාරි 06 වනදා ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රෙස්න සහ ඔහුගේ බිරිඳ වන නියෝමාලි විජේනායක අත්අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
පසුව ඔවුන් ඇප මත මුදා හැරුණු අතර කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නීති කෘත්‍යය අඛණ්ඩව සලකා බැලූණු අතර, මෙවැනි පසුබිමක ප්‍රශ්නගත එයාර් බස් ගනුදෙනුවට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණා.