භේදයකින් තොරව කවුරුත් බලා සිටි ඒ ආරංචිය

මසකටත් වැඩි කාලයක් රෝමයේ රෝහලක ප්‍රතිකාර ලබමින් පසුවූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට රෝහලෙන් පිටව යාමට අවසර ලබා දී තිබෙන බව විදෙස් මාධ්‍ය වර්තා කරනවා. කෙසේ නමුත් උන් වහන්සේට තවදුරටත් විවේක සුවයෙන් පසුවන ලෙසට වෛද්‍ය උපදෙස් ලබා ඇති බව වාර්තා වල සඳහන් වෙනවා.

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ, පසුගිය පෙබරවාරි මස 14 වැනිදා හදිසියේම රෝහල්ගත කෙරුණේ ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුකරගෙනයි. ඒ, රෝමයේ ජිමෙල්ලි රෝහලටයි.

අනතුරුව උන්වහන්සේ ද්විත්ව නියුමෝනියා රෝගී තත්ත්වයකට ද ගොදුරු වූ අතර, තරමක් අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූවා.

කෙසේ නමුත්, රෝම මාධ්‍ය වාර්තා කර තිබුණේ 88 හැවිරිදි පාප් වහන්සේ අද දිනය තුළ රෝහලෙන් පිටව යනු ඇති බවයි. රෝහලෙන් පිටව යාමට පෙර පාප් වහන්සේ එහි කවුළුවකින් මහ ජනතාව හමුවේ පෙනී සිටීමට නියමිත වන අතර, එය උන් වහන්සේ රෝහල්ගතවීමෙන් පසුව අනුගාමිකයින් හමුවේ පෙනී සිටින පළමු අවස්ථාව වන බව සඳහන් වෙනවා.

ශුද්ධෝත්තමයන් වහන්සේගේ කාලසටහනට අනුව උන් වහන්සේ බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු හමුවීමට නියමිතව පවතින අතර, ඉදිරි කාලය තුළ පාස්කු සැමරුම් සඳහා ද එක්වීමට නියමිතයි. ඒ සම්බන්ධ ඉදිරි කටයුතු පසුව දැනුම්දීමට නියමිතව බව වතිකානුව සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *