කෝටි ගණනක වංචාවක සුලමුල හෙළිවේ

පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් ඊයේ (07) සිදුකළ විශේෂ වැටලීමකින් රුපියල් කෝටියකට අධික මුදලක් වංචාකළ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව වාර්තා වෙනවා.

මෙම වැටලීම සිදුකර තිබෙන්නේ, පොල්ගහවෙලල යටිගල්ඔළුව ප්‍රදේශයේයි.

මෙම සැකකරුවන් විසින් කුකුළු ගොවිපල ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකුගේ ගිණුමකින් රුපියල් එක්කෝටි හතලිස් ලක්ෂ හැත්තෑදහස් පනස් එකක (14,070,051) මුදලක් වංචාකර ඇති බව වාර්තා වෙනවා.

ඔවුන්ගෙන් දෙදෙනෙකු අවුරුදු 26 හා 38 වයස්වල පසුවන අතර, පොලීසිය පවසන පරිදි ඔවුන්, මාඑළිය හා අලව්ව ප්‍රදේශවල පදිංචිකරුවන් බව තහවුරු කරගෙන තිබෙනවා.

එම දෙදෙනාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මෙම මූල්‍ය වංචාවට සම්බන්ධ අනෙක් සැකකරු වාරියපොල, වැරැල්ලගොල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙහිදී ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී පිස්තෝල වර්ගයේ ගිනි අවියකට භාවිතා කරන මිලි මීටර් 09 වර්ගයේ පතරොම් 43 ක් හා නාවික හමුදා නිල ඇඳුම් කට්ටලයක් ද සොයාගැනීමට පොලීසියට හැකිවී තිබෙනවා.

අත්අඩංගුවට ගත් එම සැකකරු වයස අවුරුදු 22 ක් වන කෙලිමුනේ ප්‍රදේශයේ පදිංචි නාවික හමුදාවෙන් පලාගිය සෙබළෙකු බව පොලීසිය සඳහන් කරනවා.

එමෙන්ම ඔහුගේ පියා යුධ හමුදාවේ සේවයකර විශ්‍රාමිකව සිටින පුද්ගලයෙකු වන බවත් ඔහු විසින් මෙම පතරොම් නිවසට රැගෙනවිත් ඇති බවත්, මේ වනවිට අනාවරණය වී තිබෙන බව සඳහන් වෙනවා.

සැකකරු වාරියපොල පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇති අතර, වාරියපොල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *