වසර ගණනාවකට පෙර සිදු කළ ඝාතනයක සුලමුල හෙළිවේ

සීදුව, වෑත්තෑව ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක හිමිනමක් ගෙල සිරකර ඝාතනය කිරීම හා දේපළ සොරකම් කිරීමේ අපරාධයක් සම්බන්ධ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා.
2022.09.14 වන දින මෙම අපරාධය සිදුව ඇති අතර, ඒ සම්බන්ධයෙන් සීදුව පොලිස් ස්ථානය මඟින් ආරම්භ කර තිබු විමර්ශනවලට අනුව මෙම සැකකාරය අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.
එම විහාරස්ථානයේම වැඩවාසය කළ හිමිනමක් විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවත්, එම හිමිනම සමඟ සම්බන්ධකම් පැවැත්වූ විදේශගතව සිටින කාන්තාවක් මෙම ඝාතනය සිදුකිරීම සඳහා කුමන්ත්‍රණය කර ඇති බවත්, ඝාතනය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වලදී හෙළි වී තිබෙනවා.
වැඩිදුර විමර්ශනයෙන් පසුව පොලීසිය විසින් මෙම සැකකාරිය සම්බන්ධයෙන් අධිකරණය වෙත කරුණු වාර්තා කර සැකකාරියට එරෙහිව ගුවන් ගමන් තහනමක් ලබා ගෙන තිබුණා.
ඒ අනුව, මෙම සැකකාරිය ඊයේ (12) අළුයම ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පැමිණීමේදී ගුවන්තොටුපොළ ආගමන විගමන නිලධාරීන් විසින් ගුවන්තොටුපොළ පොලිස් ස්ථානයට භාරදීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙන බව සඳහන් වෙනවා.
අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 24 ක් වන මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර, සැකකාරියව අද 13 මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන, සීදුව පොලිස් ස්ථානය මඟින් සිදුකරනු ලබයි.
