ශ‍්‍රී ලංකා ආර්ථික සමුළුව ඇරඹුණා

අද (28) ශ්‍රී ලංකා ආර්ථික සමුළුව 2025 ආරම්භ වුණා. ඒ කොළඹදීයි. මේ අවස්ථාවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද සහභාගි වී සිටියා.

ආර්ථික පරිවර්ථන පනත සංශෝධන සහිතව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව සමුළුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

මීට අමතරව මිලියන 2.5 ක සංචාරකයින් සංඛ්‍යාවක් මෙම වසර තුළ මෙරටට පැමිණෙනු ඇති බවට තමා විශ්වාස කරන බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර තිබෙනවා.

විශේෂයෙන් ම අයවැයට විශාල වැය බරක් වී තිබෙන රාජ්‍ය ආයතන හෝල්ඩින්ග්ස් සමාගමක් හරහා කොටස් වෙළෙඳපොළට සම්බන්ධ කිරීමේ හැකියාව සම්බන්ධයෙන් මේ වනවිට සොයා බලමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ පාඩු ලබන ආයතන ව්‍යුහාත්මක වෙනසකට ලක් කිරීමට රජය සූදානම් බවයි.

“පැරණි කෝණයෙන් අපි මේ ආයතන දෙස බලන්නේ නැහැ. මේ ආයතන ව්‍යුහාත්මක වෙනසකට අපි ලෑස්තියි. විශේෂයෙන්ම අපි දැනට අධ්‍යයනය කරමින් ඉන්නවා…මෙම ආයතනයන් ඒකාබද්ධ කර හෝල්ඩින්ග්ස් සමාගමක් හරහා යම් කොටස් ප්‍රමාණයක් කොටස් වෙළෙඳපොළට නිකුත් කරන්න පුළුවන් ද කියලා. විශේෂයෙන්ම සංස්ථා සහ මණ්ඩල පිළිබඳ අපි හිතන්න සූදානම්.”

“මම විවෘතව කියන්නම්. සමහර ආයතන තිබෙනවා.. එකම කාර්යය කිරීම සඳහා ආයතන කිහිපයක් තිබෙනවා. මං හිතනවා.. සමහර ආයතන අපිට වසා දාන්න වෙයි. සමහර ආයතන ඒකාබද්ධ කරන්න වෙයි. සමහර ආයතනවල විශය පථය වෙනස් කරන්න වෙයි. ඒ හඳුනාගැනීම් මේ දිනවල කරගෙන යනවා.”

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *