අධිකරණයට භාරවුණු ද්විත්ව ඝාතනයේ සැකකරු

අම්බලන්ගොඩ පොලිස් වසමේ, ඌරවත්ත ප්‍රදේශයේදී සිදුකළ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු අධිකරණයට ඉදිරිපත්වී තිබෙන බව වාර්තා වෙනවා.
2024-11-10 වන දින අම්බලන්ගොඩ පොලිස් වසමේ ඌරවත්ත ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පිරිමි පුද්ගලයෙකුට හා කාන්තාවකට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර තිබුණා.
වෙඩිතැබීමෙන් පසු වෙඩික්කරුවන් පලාගොස් තිබූ අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අම්බලන්ගොඩ පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව, මෙම අපරාධයට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු ඊයේ (25) නීතිඥවරයෙකු මාර්ගයෙන් බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා.
එහිදී සැකකරු මාර්තු 07 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙන බව සඳහන් වෙනවා.
බන්ධාගාරගත කළ සැකකරු පොල්හුන්නාව, බටපොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මොහු අපරාධයෙන් පසු සැකකරුවන් පලා යෑමට භාවිත කරන ලද කාර් රථයේ රියදුරු වශයෙන් කටයුතු කර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන අම්බලන්ගොඩ පොලීසිය විසින් සිදු කරනු ලබනවා.