සක්විති රණසිංහට සහ ඔහුගේ බිරිඳට ලැබුණු තීන්දුව

සක්විති රණසිංහ හෙවත් චන්දන වීරකුමාර සහ ඔහුගේ බිරිඳ වූ කුමාරි අනුරාධිනී යන අයට කොළඹ මහාධිකරණය අත්හිටවූ සිරදඬුවම් සහ දඩ නියම කර තිබෙනවා.
ඒ, නීතිවිරෝධී මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් රුපියල් 16 ක කෝටි හතළිස් එක් ලක්ෂයකට අධික මුදලක් මහජනතාවගෙන් තැන්පතු ලෙස භාර ගැනීම ඇතුළු චෝදනාවලට වරද පිළිගැනීම හේතුවෙනි.
එම චෝදනාවලට විත්තිකරුවන් වරද පිළිගැනීමෙන් අනතුරුව, එක් එක් විත්තිකරුට බරපතළ වැඩ සහිත වසරක සිරදඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා එම සිරදඬුවම වසර 10 කට අත්හිටුවන බවත් නියෝග කර තිබෙනවා. ඊට අමතරව, විත්තිකරුවන්ට රුපියල් 25,000 බැගින් දඩ මුදල්ද නියම වුණි.
දඩ මුදල් ගෙවීමෙන් පසුව විත්තිකරුවන්ගෙන් ඇඟිලි සලකුණු ලබා ගන්නා ලෙසත් ඉන් පසුව ඔවුන් මුදාහරින ලෙසත් විනිසුරුවරයා නියෝග කළ බව වාර්තා වෙනවා.
මීට පෙර පැමිණිල්ලේ සහ විත්තියේ මෙන්ම අගතියට පත් පාර්ශවය නීතිඥවරු අතර ඇතිවූ එකඟතාවය මත මෙම විත්තිකරු විසින් තැන්පත්කරුවන්ගෙන් භාරගත් සමස්ත මුදල්වලින් 60% ක් වන නවකෝටි අසූපන් ලක්ෂයකට ආසන්න මුදලක්, 2023 වසරේ ජූලි මාසයේ සිට රුපියල් ලක්ෂ පනහ බැගින් වූ මාසික වාරිකවලින් විත්තිකරු ගෙවා අවසන් කර තිබෙන බව ඔවුන්ගේ නීතිඥවරු අධිකරණයට දැනුම් දී තිබෙනවා.
ඉන් අනතුරුව විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ පළමුවන විත්තිකරු වසර නවයක් පමණ රක්ෂිත බන්ධනාගාරගතව සිටි බවත් දෙවන විත්තිකාරිය වසර දෙකක් පමණ බන්ධනාගාරය භාරය පසුවූ බවත් සඳහන් කර සිටියා.
බන්ධනාගාරයෙන් ඇප ලබා පැමිණීමෙන් පසුව, අමතර උපකාරක පන්ති පවත්වා ලැබුණු මුදල්වලින් මෙම ගෙවීම් සිදුකළ බවත් ජනාධිපති නීතිඥවරයා වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා.
ඒ වගේම, මෙම විත්තිකරුවන් ඔවුන්ගේ දරුවන් දෙදෙනා ඉදිරියේදී විවාහ වීමට නියමිතව සිටින බැවින්, ඔවුන්ගේ ලිහිල් දඬුවම් නියම කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටි බව වාර්තා වෙනවා.
ඒ අනුව, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබෙනවා.
