සංජීවගේ හත් දවස වෙනකොට සිද්ධ වෙන දේවල්

ගණේමුල්ල සංජීව වෙඩිතබා ඝාතනය කර දින 07 ක් ගතවන මේ මොහොතේ එම ඝාතනය මෙහෙයවූ බවට චෝදනා එල්ලවන කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාගේ සමීපතමයෙකුට අද (26) එල්ලවූ වෙඩි ⁣ප්‍රහාරය ආරක්ෂක අංශවල දැඩි අවධානයට යොමුවී තිබෙනවා.

අද පෙරවරුවේ මිනුවන්ගොඩ පත්තඩුවන ප්‍රදේශයේදී, කෙහෙල්බද්දර පද්මේ නමැති අපරාධ කල්ලි සාමාජිකයාගේ පාසල් මිතුරෙකු ලෙස සැලකෙන 36 හැවිරිදි පුද්ගලයෙකුට කිසියම් පිරිසක් විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් තිබෙනවා.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ අදාළ පුද්ගලයා මේ වනවිට ගම්පහ මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර, ඔහුගේ පාදයකට සහ අතකට වෙඩිවැදී ඇති බවත්, ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවත් වාර්තා වෙනවා.

වෙඩි වැදුණු පුද්ගලයා ගණේමුල්ල සංජීව ඝාතනයට සම්බන්ධයක් නැතත් ඔහු කෙහෙල්බද්දර පද්මේගේ සමීපතමයෙකු වීම හේතුවෙන් වෙඩිතැබීම සිදුකර ඇති බවට පොලීසිය සැක කරනවා.

සංජීව ඝාතනයෙන් පසුව ඔ⁣හුගේ සමීපතමයින් ප්‍රකාශ කර තිබුණේ කෙහෙල්බද්දර පද්මේ සමග සබඳකම් පවත්වන පාර්ශ්වවලින් පලි ගන්නා බවයි. ඒ අනුව මේ වනවිට අපරාධ කල්ලි අතර පවතින මෙම ආරවුල උත්සන්න වී ඇති බව පෙනෙනවා.

කෙසේවෙතත්, අද දින සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට අදාළව කිසිඳු පුද්ගලයෙකු මේ දක්වා අත්අඩංගුවට ගෙන නොමැති අතර, කණ්ඩායම් කිහිපයක් අදාළ වෙඩිතැබීම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන බව මිනුවන්ගොඩ පොලීසිය සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *