හෙට දවස සැළසුම් කරලා තියෙන්නේ මෙහෙමයි

හෙටට (01) යෙදී ඇති ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීම සඳහා මේ වන විට සියලු පක්ෂ සුදානම් වෙමින් පවතිනවා.
ඒ අනුව, ජාතික ජන බලවේගය විසින් සිය මැයි දින රැළිය ගාලු මුවදොර පිටියේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙන බව සඳහන් වෙනවා.
එම මැයි දින සැමරුම “රට හදන ජනබලය පෙළගැසෙන මැයි රැළිය” යන තේමාව යටතේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සැලසුම් කර ඇති බව සඳහන් වෙනවා. ඒ සඳහා මේ වන විටත් සියලු කටයුතු සූදානම් බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා.
මේ අතර, සමගි ජන බලවේගය ප්‍රමුඛ සන්ධානයේ මැයි දින රැළිය, සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් තලවකැළේ ළිදුල නගර සභා පිටියේ දී පැවැත්වීමට සැලසුම්කර තිබෙන බව වාර්තා වෙනවා.
“රට දිනුමට කම්කරු බලය” යන තේමාව යටතේ සමගි සන්ධානයේ මැයි දින රැළිය පවත්වන බව සමගි ජන බලවේගයේ නුවර එළිය දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක අශෝක සේපාල මහතා සඳහන් කරනවා.
ඒ වගේම, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධානය කරන මැයි දින රැළිය, “රැවටිල්ල ඉවසුවා ඇති දැන් ඉතින් නැගිටිමු” යන තේමාව යටතේ, නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේ පැවැත්වෙන බව එම පක්ෂ මහලේකම් සාගර කාරියවසම් මහතා සඳහන් කරනවා.
මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණ විසින් පවත්වනු ලබන මැයි දින උත්සවය පක්ෂ මුලස්ථානයේ දී පැවැත්වීමට කටයුතු කරන බව එම පක්ෂයේ වෘත්තීය සමිති සම්බන්ධීකාරක ප්‍රසන්න කලුතරගේ මහතා පවසනවා.
ඒ වගේම, “කම්කරුවා ව්‍යවසායකත්වය කරා” යන තේමාවෙන් පළමු වරට, මෙවර මැයි දින රැළිය පැවැත්වීමට කටයුතු කරන බව සර්ව ජන බල පක්ෂය ද සඳහන් කරනවා. වරකාපොළ සතිපොළ භූමියේ දී උදෑසන 10.30 ට එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වීමට නියමිත බව සඳහන් වෙනවා.
මේ අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂය සංවිධානය කරන මැයි දින රැළිය කිරුළපන ලලිත් ඇතුලත්මුදලි ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත බව එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා පවසනවා.
මේ අතර, හෙට පැවැත්වෙන මැයි දින පෙළපාළි හේතුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
ඒ අනුව, මැයි දින පෙළපාළිල රැස්වීම් හා සැමරුම් උත්සව සම්බන්ධයෙන් සුදුසු පරිදි අවශ්‍ය ආරක්ෂාව, රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව සැලසීමට අදාළ අංශ වෙත උපදෙස් දී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන අතර, කොළඹ නගරයේ පෙළපාළි, රැස්වීම් හා සැමරුම් උත්සව ස්ථාන 15 කදී පැවැත්වීමට නියමිතව බවද එම නිවේදනයේ සඳහන් වෙනවා.
කොළඹ නගරය හා ආශ්‍රිත ප්‍රදේශවල පැවැත්වෙන මැයි දින පෙළපාළි, රැළි හා සැමරුම් උත්සව හේතුවෙන් යම් රථවාහන තදබදයක් ඇති වුවහොත් එම ප්‍රදේශ මඟහැර විකල්ප මාර්ග ඔස්සේ රථවාහන ගමනාගමනය සිදුකිරීමට පියවර ගන්නා ලෙස ද පොලීසිය විසින් රියදුරන්ට උපදෙස් දී තිබෙනවා.