හෙට දවස සැලසුම් වෙන්නේ මෙහෙමයි

77 වන නිදහස් දින සැමරුම් උත්සවය හෙට (04) පැවැත්වීමට නියමිතයි. උත්සවය පැවැත්වෙන්නේ, නිදහස් චතුරස්‍රය හා නිදහස් මාවත ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමිනි.

හෙට (04) දින ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 1,000 කට අධික පිරිසක් යොදවා ඇති බව අද (03) උදෑසන පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පවසා සිටියා. ඒ අනුව පැමිණෙන පුද්ගලයින්ව පරීක්ෂාවකින් අනතුරුව නිදහස් දින සැමරුම් උත්සවය වෙත යොමු කරන බව පැවසු මාධ්‍ය ප්‍රකාශකවරයා විශාල ජනතාවක් නිදහස් දින සැමරුමට සහභාගී වෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද පවසනවා.

ඒ වගේම, හෙට දිනයේ විශේෂිත රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වීමට නියමිත බවත් පොලීසිය සඳහන් කරන අතර, මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පවසා සිටියේ, උදෑසන 7 ට පෙර අදාළ ස්ථානය වෙත ගොස් අසුන් ගන්නා ලෙස සියලු ආරාධිතයින්ගෙන් ඉල්ලා සිටින බවයි.

මේ අතර, නිදහස් දින සැමරුම නැරඹීමට පැමිණෙන මහජනතාව බෞද්ධාලෝක මාවතෙන් පැමිණිය යුතු අතර, පසුව රූපවාහිනි පරිශ්‍රය ආසන්නයෙන් පරීක්ෂාවට ලක්කර ආසන වෙත යොමු කෙරෙනවා.

බෞද්ධාලෝක මාවත, ටොරින්ටන් හන්දිය, ප්‍රේමකීර්ති ද අල්විස් මාවතට ඇතුළු වීම, ආර්.එස්. පී. හන්දියෙන් රාජ්‍ය පරිපාලනය දෙසට ඇතුළු වීම, විජේරාම විද්‍යා මාවතෙන් විද්‍යා මාවත දෙසට ඇතුළු වීම, නිදහස් මාවත නිදහස් වටරවුමෙන් මෙට්ලන්ඩ් චන්ද්‍රවංකය දෙසට ඇතුළුවීම, ස්ටැන්ලි විජේසුන්දර මාවතෙන් පදනම් මාවත හන්දියෙන් නිදහස් මාවත දෙසට ඇතුළු වීම, නිදහස් වටරවුමින් නිදහස් චතුරස්‍රය දෙසට ඇතුළු වීම, පුස්තකාල වටරවුමෙන් හෝර්ටන් වටරවුම දෙසට ඇතුළු වීම හා නිදහස් පදනම් හන්දියෙන් නිදහස් මාවතට ඇතුළු වීම මාර්ග වසා ගමනා ගමනය සීමා කර තිබෙන බව සඳහන් වෙනවා.

නමුත් එහි සිටින පදිංචිකරුවන්ගේ අනන්‍යතාවය මත ඇතුළු වීමට අවස්ථාව ලබාදෙන බවත් පැවසු ඉන්දික හපුගොඩ මහතා කියා සිටියේ, කොළඹට ඇතුළ වන වාහන සඳහා විකල්ප මාර්ග ලෙස පහත සඳහන් මාර්ග පිළිබඳ මහජනතාවට දැනුවත් වන ලෙසයි.

නන්දා මෝටර්ස් දෙස සිට පැමිණෙන වාහන නිදහස් වටරවුමෙන් දකුණට හැරී පිලිප් ගුණවර්ධන මාවත ඔස්සේ, ස්ටැන්ලි විජේසුන්දර මාවතෙන් බෞද්ධාලෝක මාවතට ඇතුළු වී තුම්මුල්ලට හා බොරැල්ල කනත්ත දෙසටත් ගමන් කළ හැකියි.

ඒ වගේම, බෞද්ධාලෝක මාවතෙන් හෝර්ටන් වටරවුම දක්වා පැමිණෙන වාහන විජේරාම මාවත ඔස්සේ ගමන් කර හෝර්ටන් දෙසට ගමන් කළ හැකි වන අතර විජේරාම හන්දියෙන් විද්‍යා විජේරාම හන්දියෙන් තුම්මුල්ල දෙසට යන වාහන විද්‍යා විජේරාම හන්දියෙන් බුලස් විජේරාම දෙසට පැමිණ බොරැල්ල කනත්ත දෙසට හා තුම්මුල්ල දෙසට ගමන් කළ හැකියි.

විශේෂයෙන් ම අඩු පිරිවැයකින්, මහජනතාවට සිදුවන පීඩා අවම වන ආකාරයෙන් සහ වැඩි ජන සහභාගිත්වයකින් යුතුව මෙවර නිදහස් දින උත්සවය පැවැත්වීමට රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පලාත් පාලන අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා.

මේ වසරේදී නිදහස් දින සැමරුම සඳහා යොදා ගන්නා ත්‍රිවිධ හමුදා සෙබළුන් සංඛ්‍යාව සියයට 40 කින් අඩු කර ඇති අතර පෙළපාළිය සඳහා ත්‍රිවිධ හමුදා සන්නද්ධ රථ ආදිය යොදා නොගැනීමටත් තීරණය කර තිබීම විශේෂත්වයක් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *