වැඩ වරද්දගත් රියදුරු කොන්දොස්තර දෙපළ

රාජකාරිය පැහැර හැරීමේ චෝදනා මත ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් පොළොන්නරුව ඩිපෝවේ රියදුරුවරයෙකු සහ කොන්දොස්තරවරයෙකු තාවකාලිකව වැඩතහනමට ලක් කර තිබෙනවා.
මෙලෙස වැඩ තහනමට ලක් කර ඇත්තේ, වැලිකන්ද සිට ගල්කන්ද අතර ධාවනය වන ලංගම බස් රථයක රියැදුරු සහ කොන්දොස්තර, රාජකාරී වේලාව තුළ බීමතින් සිට රාජකාරිය පැහැර හැරි බව කියන සිද්ධියකට අදාළවයි.
ඊයේ පස්වරුවේ අදාළ බස්රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා වැලිකන්ද ගමනාගමන මණ්ඩලයේ විවේකාගාරය තුළ බීමතින් වැටී සිටින බවට පොලීසියට තොරතුරක් ලැබී තිබූ අතර, පසුව වැලිකන්ද පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට පිටත්ව ගොස් තිබෙනවා.
එම අවස්ථාව වන විටත් කොන්දොස්තරවරයා බීමතින් එම ස්ථානයේ නිදා සිට ඇති අතර, රියදුරු පලාගොස් තිබෙනවා.
වැලිකන්ද බස් නැවතුම්පොළේ නතර කර තිබු එම බස් රථය ගල්කන්ද ප්‍රදේශයට ගමන් කිරීම සඳහා පවතින එකම බස්රථය වන අතර පාසල් සිසුන් ඇතුළු මගීන් පිරිසක් ඒ වන විටත් එම බස්රථය වෙත පැමිණ සිටි බවත් සඳහන් වෙනවා.
කෙසේවෙතත් රියදුරු හා කොන්දොස්තර නොමැතිවීම හේතුවෙන් බස්රථය ධාවනය නොවීමත් සමග දුෂ්කරතාවට පත්ව සිටි මගීන් සඳහා පොලිස් ජීප් රථයෙන් ගමන් පහසුකම් සැපයීමට වැලිකන්ද පොලීසිය පියවර ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පොළොන්නරුව ඩිපෝ බලධාරින් විසින් වැලිකන්ද පොලිසියට පැමිණිල්ලක් සිදුකර ඇති අතර, සිදුකෙරෙන විමර්ශනවලට අදාළව රියදුරු සහ කොන්දොස්තරවරයා තාවකාලික වැඩ තහනමට ලක් කර ඇති බව සඳහන් වෙනවා.
