මොකක්ද මේ නව EPF කළමනාකරණ පද්ධතිය කියන්නේ?

නව සේවක අර්ථසාධක අරමුදල් කළමනාකරණ පද්ධතියක් නිර්මාණය කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ විශාලතම විශ්‍රාම අරමුදල වන සේවක අර්ථසාධක අරමුදලේ මුළු සාමාජික ගිණුම් සංඛ්‍යාව මේ වන විට මිලියන 21.5 ක් පමණ වන අතර, දායක මුදල් ප්‍රේෂණය කරනු ලබන ක්‍රියාකාරි සේවා‌ යෝජකයින් සංඛ්‍යාව 77,000 ක් පමණ බව සඳහන් වෙනවා.

2024 ඔක්තෝබර් මාසය අවසන් වන විට අරමුදලේ මුළු වත්කම් ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 4.2 ක් වන අතර, පසුගිය වසර කිහිපය තුළ එහි වත්කම්වල වාර්ෂික වර්ධනය 9% ට වඩා ඉහළ අගයක් වාර්තා කරමින් අඛණ්ඩ වර්ධනයක් ළඟා කර ගෙන තිබෙනවා.

සේවක අර්ථසාධක අරමුදලේ කටයුතු සුමටව පවත්වාගෙන යාම සඳහා විශාල ගනුදෙනු ප්‍රමාණයක් සැකසිය හැකි පරිශිලක ගිණුම් සහ දත්ත විශාල ප්‍රමාණයක් උපරිම කාර්යක්ෂමතාවකින් පවත්වාගෙන යාමට තරම් ශක්‍යතාවයකින් යුතු තොරතුරු තාක්ෂණ පද්ධතියක අවශ්‍යතාව හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව, නව සේවක අර්ථසාධක අරමුදල් කළමනාකරණ පද්ධතියක් නිර්මාණය කිරීම සඳහා ලෝක බැංකු සමූහයේ මූල්‍ය අංශ නවීකරණ ව්‍යාපෘතිය යටතේ 2021 වර්ෂයේදී ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙන අතර, ඉන්දියාවේ Price water house Coopers Private Limited හි උපදේශකත්වය යටතේ නව කළමනාකරණ පද්ධතියේ සැලසුම් සහ අවශ්‍ය පිරිවිතර සකස් කිරීම අවසන් කර තිබෙන බව සඳහන් වෙනවා.

මෙම කරුණු සැලකිල්ලට ගනිමින් යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා පද්ධති සම්බන්ධකයෙක් (System Integrator) තෝරා ගැනීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *