උණුසුම් වචන හුවමාරුවම වාසියක් වෙයිද?

යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කිගේ අමෙරිකානු සංචාරය මේ වන විට ලොව පුරා අවධානයට ලක්ව තිබෙනවා.

ඒ යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර, ධවල මන්දිරයේ දී පැවති හමුව උණුසුම් වචන හුවමාරුවකින් අවසන් වීමත් සමගිනි.

රුසියා – යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන් සාකච්ඡා වූ අවස්ථාවේ ජනාධිපතිවරුන් දෙපළ අතර මෙම උණුසුම් වචන හුවමාරුව සිදුව තිබූ අතර එය ලෝක මාධ්‍ය වෙත ද විවෘත වීම විශේෂත්වයක් වුණා.

මෙහිදී යුක්‍රේන ජනාධිපතිවරයාගේ අරමුණ වී තිබුණේ, යුද්ධය ආරම්භ කිරීමට මූලික වූ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්ට සහය නොදක්වන ලෙස අමෙරිකානු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් සිදු කිරීම වුවත්, ඒ සම්බන්ධයෙන් ඇතිවූ සාකච්ඡාවේ දී ට්‍රම්ප් ජනාධිපතිවරයාට සහ එරට උප ජනාධිපති ජේ.ඩී වාන්ස් හට අගෞරව වන ආකාරයේ ප්‍රකාශ සිදුකළ බවට ඔවුන් විසින් යුක්‍රේන ජනාධිපතිවරයාට චෝදනා කර තිබෙනවා. ඇතිවූ තත්ත්වයත් සමග යුක්‍රේන ජනාධිපතිවරයාට ධවල මන්දිරයෙන් පිටව යන ලෙස ද දැනුම් දීමක් සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

සාකච්ඡාවෙන් පසු අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර තිබුණේ, යුද ගැටුම් අවසන් කර සාමය ඇති කිරීම සඳහා යුක්‍රේන ජනාධිපතිවරයාගේ කැමැත්තක් නොමැති අතර, මිලියන ගණනක ජනතාවගේ ජීවිත පිළිබඳව ද ඔහුට තැකීමක් නොමැති බවයි.

ඒ වගේම, බ්‍රිතාන්‍ය, ප්‍රංශය ඇතුළු රටවල් රැසක රාජ්‍ය නායකයින්ගේ අවධානය ද මේ සම්බන්ධයෙන් යොමුව තිබූ අතර, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීර් ස්ටාමර් විසින් අමෙරිකා හා යුක්‍රේන ජනාධිපතිවරුන් දෙපළ සමගම ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

යුක්‍රේනයට, ජර්මනිය හා යුරෝපා සංගමය මත විශ්වාසය තැබිය හැකි බව ජර්මානු චාන්සලර් ඕලාෆ් ස්කොල්ස් ප්‍රකාශ කර ඇති අතර, ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලෝනි සදහන් කර ඇත්තේ යුක්‍රේන යුද්ධය පිලිබද සාකච්ඡා කිරීම සදහා අමෙරිකාව, යුරෝපය හා ඊට සම්බන්ධ පාර්ශ්ව අතර හදිසි සමුළුවක් කැදවිය යුතු බවයි.

යුක්‍රේනයට අඛණ්ඩව සහය ලබාදෙන බවට සහතික වී ඇති බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීර් ස්ටාමර්, කල්පවතින සාමයක් ලගා කර ගැනීම සදහා හැකි සෑම සහයෝගයක්ම ලබාදෙන බව ප්‍රකාශ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *